කොන්වොයි ගේ 'කොන්නොවුණු' ශතකයෙන් නවසීලන්තයට වැඩි වාසි..

 


නවසීලන්තය සහ බංගලාදේශය අතර ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවැත්වෙන තරඟාවලියේ පළමු තරඟයේදී මුලින් පන්දුවට පහරදෙන නවසීලන්ත කණ්ඩායම මුල්ම දිනය අවසානයේ කඩුලු 5ක් බිඳවැටී ලකුණු 258ක් ලබාගෙන ඉතා ප්‍රබල තත්වයක පසුවෙයි.

නවසීලන්තයේ Mount Maunganui පිටියේ පැවැත්වෙන මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ නායක මොමිනුල් හක් මුලින් පන්දු යැවීම තෝරාගත්තා. සිව්වැනි පන්දු වාරයේදීම නායක ටොම් ලැතම් පිටියෙන් ඉවත්වුණේ ලකුණු පුවරුව ලකුණු 1ක් ව තිබියදී ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවකට ය. නමුත් දෙවැනි කඩුල්ලට එක්වුණු විල් යන්ග් සහ ඩෙවොන් කොන්වොයි ඉතා විශිෂ්ට ලෙස පන්දුවට පහරදෙමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කලා.

මෙහිදී තමන්ගේ සිව්වැනි තරඟයට සහභාගීවන දක්ෂ පිතිකරු ඩෙවොන් කොන්වොයි ලකුණු 122ක් ලබාගත්තේ හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් සමගින් ය. ඒ ඔහුගේ දෙවැනි ටෙස්ට් ශතකය යි.  විල් යන්ග් ලකුණු 52 යි. සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවිය හමාර කිරීමට සැරසෙන රොස් ටේලර් ලකුණු 31 යි. හෙන්රි නිකොල්ස් සහ ටොම් බ්ලන්ඩෙල් නොදැවී පන්දුවට පහරදෙමින් සිටිති.

පන්දු යැවීමේදී බංගලාදේශය වෙනුවෙන් ෂොරිෆුල් ඉස්ලාම් කඩුලු 2ක් ලබාගත්තේ ලකුණු 53 කට ය. අයි.සී.සී ටෙස්ට් ශූරතාවය යටතේ මේ වනවිට නවසීලන්ත කණ්ඩායම තරඟ 2කට මුහුණදී එක් තරඟයක් පරාජයට පත්ව සහ අනෙක් තරඟය විසඳුමකින් තොරව අවසන්වීම නිසා ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවන අතර, බංගලාදේශය මුහුණ දුන් තරඟ දෙකම පරාජයට පත්ව ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ පසුවෙයි. 


1 Comments