චීනෙත් කැමති ඉන්දියාවේ ‘මාර්ෂල් ආර්ට්ස් කෙල්ල’ - LADKI



සුප්‍රකට බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක රාම් ගෝපාල් වර්මා විසින් නිර්මාණය කළ LADKI: Enter the Girl Dragon හින්දි චිත්‍රපටය පසුගිය සතියේ තිරගතවීම ආරම්භවුණා. ඉන්දියාවට සමගාමීව චීනය ඇතුළු රටවල් ගණනාවකද ප්‍රදර්ශනය ආරම්භකළ මෙම චිත්‍රපටයට චීන ප්‍රේක්ෂකයන්ගේ ද විශේෂ කැමැත්ත හිමිවීම කැපී පෙනෙන සිදුවීමකි.

රාම් ගෝපාල් වර්මා විසින් වැඩිම වියදමක් දරා නිපදවූ චිත්‍රටය වන LADKI චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වශයෙන් රංඟනයෙන් එක්වන්නේ පූජා බාලේකර් නැමති චීන සටන් කලාව ඉතා හොඳින් ප්‍රගුණ කළ සුරූපි නිළියක් විසින් ය. මේ සටන්කාර යුවතිය චීන ප්‍රේකෂකයන්ගේ හද සොරාගෙන ඇත්තේද ඇය මේ චිත්‍රපටය පුරාම ප්‍රකට කරන තමන්ගේ හැකියාවන් නිසාවෙන් ය.

ඉන්දියාවේ මුම්බායි නුවර උපත ලැබූ පූජා බාලේකර් කුඩා කල සිටම සටන් කලාවට දැක්වූ කැමැත්ත නිසා පාසල් වයසේ සිටම සටන් කලාව ප්‍රගුණ කරන්නට යොමුවුණා. විශේෂයෙන්ම චීන Martial Arts සටන් කලා ක්‍රම ප්‍රගුණ කරමින් තරඟ ගණනාවකට ඇය ඉදිරිපත්ව තිබුණා.

කෙටි දුර ධාවන ශූරියක් ලෙසද පාසල් අවධියේ සිටම කටයුතු කළ ඇය ඊට අමතරව යෝග අභ්‍යාස ඉතා ගැඹුරින් හදාරා ඇති නිසා සිය ශරීරයේ හැඩය පවත්වාගැනීමට සහ මානසික ඒකාග්‍රතාවයට එය ඉතා විශාල උපකාරයක් වූ බවත් පූජා ප්‍රකාශකර තිබෙනවා.

‘පොඩි කාලේ ඉඳලම මම බෲස්ලිට ආසයි. කාමරේ පුරාම තිබුණේ බෲස්ලිගේ පොටෝස්, බැලුවේ බෲස්ලිගේ ෆිල්ම්ස්. ඒ නිසාම මම පස්සේ කාලෙක ටයිකොන්ඩෝ සහ ජිට් කොන්ඩෝ වගේ සටන් ක්‍රම පුහුණුවුණා..ඇත්තටම ලඩ්කී චිත්‍රපටය මට ලැබුණු කියාගන්න බැරිතරම් වටින අවස්ථාවක්..’

පූජා බාලේකර් ඉතා හැඟීම්බරව තමන්ට ලැබුණු අවස්ථාව ගැන සඳහන් කර සිටියා. ටයිකොන්ඩෝ සහ ජිට් කොන්ඩෝ ඉසව් වලින් ජාතික සහ ප්‍රාන්ත මට්ටමේ පදක්කම් ගණනාවක් දිනාගැනීමටත් පූජා සමත්ව තිබෙනවා.

0 Comments