Header Ads Widget

Responsive Advertisement

නුඹ විතරක් එතෙරට යන රෑ මැදියම මත් වූ තොටියෝ (ගීත විචාර) | දිලානි රූපසිංහ





සටහන - දිලානි රූපසිංහ

රෑ මැදියම මත් වූ තොටියෝ

ඔරු පදින්න මා කැඳවන 

නුඹ විතරක් එතෙරට යන

රෑ මැදියම මත් වූ තොටියෝ

මාස් වැස්ස ඉවරවෙලා
අලුත් වතුර ගලන ගඟේ
මල් නෙළුවා මතකද තොටියෝ
ඔරුව පෙරලුනත් ගඟ මැද
මාව අරන් නුඹෙ තුරුලට
එතෙර කලා මතකයි තොටියෝ

රුවල් නඟා යන නැව් දැක
සසල වෙලා බැලුවත් නුඹ
නැව් නඟින්න හිත නෑ තොටියෝ
නුඹෙ ඔරුවෙන් යලි දවසක
කුමුදු පිපෙන හඳ එලියක
එතෙර යන්න ආසයි තොටියෝ

ගායනය :- විශාරද ( ජේ.කථි ) ඉන්දිකා උපමාලි 
පද රචනය :- රජී වසන්ත වෙල්ගම
සංගීතය :- අරුණ ගුණවර්ධන 
 
" හැරගිය නමුත් බඹරුන් මල් පැණි ද ගෙන
මලකට සතුටු වන්නට හැක සුවඳ ගැන "

       ප්‍රේමය ගැන විවිධ විචාරකයින් මෙන් ම නුඹ ද මම ද විවිධ අර්ථකථන සපයනවා. ඒ සෑම අර්ථකථනයක් තුළම ගැබ්වෙලා තියෙන එක කරුණක් තියෙනවා. ඒ තමයි ප්‍රේමය කියන දෙයට සීමාවක් නෑ. මේ ප්‍රේමය ඒකපාර්ශ්වික හෝ දෙපාර්ශ්වික විය හැකිය. හිමිවීම පමණක්ම ප්‍රේමය යැයි අර්ථකථනය කල නොහැකිය. අහිමිවීමත් ප්‍රේමයක්.

"ප්‍රේමය යනු ශෘංගාරය සමඟ පුද්ගලානුබද්ධව අත්වැල් බැදගත් සියුම් හැඟීම් ස්පර්ශ කරවන රාගයෙන් තොර වූ හිමිවීම අහිමිවීම තුලින් බිහිවන සම්මත අසම්මත යැයි බෙදා වෙන්කල නොහැකි ස්වයං මිනිස් චින්තනයක් " 

           මේ මිනිස් චින්තනයන් තුල නිරායාසයෙන් හා ආත්මීය වශයෙන් බිහිවන සොදුරු ප්‍රේමය දෙදෙනෙකු අතර ලිංගික ශෘංගාරාත්මක රස මැවීමට සමත් වෙනවා. ඒ මවන ලිංගික ශෘංගාරය අඹුසැමි විවාහක යුවලක් තුල පවතින්නේ කුල ගෞරවය හා සංසාර චාරිකාවේ සොඳුරු මිහිරියාවත් සමඟ. ඒ මිහිරියාව තුල පවතින ප්‍රේමය, ස්නේහය හා ගෞරවය කැටි කොටගත් පතිවත් පුරන්නියක් විශේෂනීය වූ අනුවේදනීය ශෘංගාරාත්මක අත්දැකීමක් පාදක කොට ලියැවුණු "රෑ මැදියම මත් වූ තොටියෝ" මෙසේ විග්‍රහ කරමි.

රෑ මැදියම මත් වූ තොටියෝ 
ඔරු පදින්න මා කැඳවන
නුඹ විතරක් එතෙරට යන 
රෑ මැදියම මත් වූ තොටියෝ 

සංගීතය, පද රචනය හා අර්ථය මනාව කැටිකොටගත් අපූර්ව සැඟවුණු යට ගියා වූ අනුවේදනීය අර්ථ රසයකින් පරිපූර්ණ වූ නිර්මාණයක් වන මෙහි පද රචනය චිත්ත රූප මැවීමට පවා සමත්කම් දක්වන්නකි. රාත්‍රිය සොඳුරු ය. නිහඩ ය. අවර්ණය. ප්‍රේමය ද සොඳුරු ය. නිහඩ ය. අවර්ණ ය. මේ රාත්‍රිය තුල ප්‍රේමනීය ස්වයංවරයන් පමණක් නොව ස්වයං බන්ධනයන් පවා තෘප්තිමත් වන්නේ ය.

"මත් වූ තොටියා" ලෙස මෙහි සඳහන් වන්නේ එම ස්වයං බන්ධනයේ විවාහක ස්වාමි පුරුෂයා ය. මෙහි එක්ව බන්ධනය වන්නේ තම පවිත්‍රතාව පූජා කල පතිනියක් සහ තම ගෞරවය රකින තම සැමියා ය. ඔරු පදින්න යනු ලිංගික සංවාසය යි. මේ ලිංගික සංවාසය සිදු වන්නේ නිහඩ රාත්‍රියක. හඳ එලියක තම සැමියා සමඟ ප්‍රේමයෙන් සිදුවන මෙම සංවාසය ඉතා සොඳුරු ය. නමුත් මේ බිරිඳට ඇත්තේ සතුටක් නොවේ. "නුඹ විතරක් එතෙරට යන " මෙහි පවසනුයේ සැමියා පමණක් ඒ ලිංගික සංවාසයෙන් මෝචනයට පත් වන බවයි. ප්‍රේමය තුලින් නැගුනු සංවාසය අවසන් වන්නේ ඔහු පමණක් සතුටු වෙලා ය. මෙහි ඇත්තේ පුරුෂ ප්‍රේමයේ ආර්ථමාර්ථය නොවේ ද.

ලිංගික සංවාසයේ දී මෝචනය කියන කාරණය පුරුෂයාට මෙන් ම ස්ත්‍රියට ද පොදු වූ සමාන කරුණක්. මෙම පොදු කාරණාව තුල පිරිමියා යැයි සිතා සිටින බොහොමයක් පිරිමින් තුල පවතින මෙම ලිංගික ආත්මාර්ථය සියුම් ලෙස මෙහි විග්‍රහ කරලා තියෙනවා. 

කන්‍යා බිරිඳක් තුල හැඟීම උත්පාදනය කිරීමට පිරිමියා සමත්වේ ද ඒ හැඟීම මෝචනය කරා ලගා කරවීමට නොහැකි වීම හා තමා පමණක් සතුටු වීම යන ප්‍රබල කරුණ ව්‍යංගාර්ථයෙන් කියපු පද රචනය හුදෙක් ම සමාජීය ප්‍රබල කරුණු ගණයෙහිලා සැලකිය හැකි යි. තම පෞද්ගලික සන්තර්පනය උදෙසා බිලිවන ප්‍රේමය නිසාවෙන් ඉවසා සිටින අනුවේදනීය ශෘංගාරාත්මක අත්දැකීම රස කොට මෙහි මනාව ඉස්මතු කර ඇත්තේ නුඹ පමණක් එතෙරෙට යන ලෙසයි.

මාස් වැස්ස ඉවරවෙලා
අලුත් වතුර ගලන ගඟේ
මල් නෙළුවා මතකද තොටියෝ

පුරුෂයෙකු ස්ත්‍රියකගේ හැඟීම් වෙනස් වන්නේ මේ ඉහත කියන ප්‍රබල සාධකය මත යි. ගැහැනියක මවක් වීම යන පවිත්‍ර කරුණ තුල පවතින මෙම මාස් ශුද්ධිය අලංකාරව මෙහි රචනා කරලා තියෙනවා. මාස් ශුද්ධිය ඇති වීමෙන් පසු ස්ත්‍රියකගේ ලිංගික ආශාවන් වැඩි වීම හා දරුවන් බිහි වීමට අවශ්‍ය ලෙස ගර්භාශය සකස් වීම යන කරුණු අප කවුරුත් දන්න කරුණක්. 
නමුත් පුරුෂයෙකු ලෙස මොහුගෙන් ඇය අසනුයේ "අලුත් වතුර ගලන ගඟේ" ඇයගේ ශරීරය නැවුම්. ඇය මේ කියන සංවාසයට සූදානම්‍ බව ඇගේ හදවත කෑ ගහලා කියනවා. මෙම කාලය ඇගේ හැඟීම් ප්‍රබලව නැගෙන අවදිය යි. නමුත් මෙය තම සැමියාට පැවසිය නොහැකි යි. නමුත් ඇය පවසනවා පුරුෂයාට..මතකද ඔයාට.

ඔරුව පෙරළුනත් ගඟ මැද
මාව අරන් නුබෙ තුරුලට 
එතෙර කලා මතකයි තොටියෝ"

මෙහි ව්‍යංගාර්ථයෙන් කියනුයේ ඔවුන් එක් වී සිටින අවස්ථාවේ සැමියා ඉක්මනින් සතුටු වුණ බවයි. ඇය ගැන නොසිතා ඔහු ඇයව තුරුල් කරගෙන නිදාගත් බවයි. නමුත් ඇයට මේ පිලිබද ඔහුට පැවසිය නොහැකි යි. එසේ වන්නට හිරි ඔතප් යන සංස්කෘතික හැදියාව ප්‍රබල වුණා. ප්‍රේමය තුල පවතින ඒ සොදුරු වින්දනය ඇයට නොලැබුණ ද ඇ‍ය ඉවසා සිටින්නට තරම් පරිත්‍යාගශීලි වුණා. රාගය ගින්නක් ලෙස පැවසිය හැකි කරුණක් වූ වද ඇය තම පරපුරේ ගෞරවය වෙනුවෙන් ඒ ගින්නෙන් පිච්චුන බව මෙහි කියනවා. අපූරු පද රචනයක අර්ථගැන්වීම තුල මේ සමාජීය කරුණ විවරණය මෙවැනි කලා නිර්මාණයන් තුලින් බිහි වීම ගෞරවයට ලක් කල යුතුම ය.

රුවල් නඟා යන නැව් දැක
සසල වෙලා බැලුවත් නුඹ

ජීවිතය ගලාගෙන යනවා. නැවතීමක් නෑ. ඒ ජීවිත චාරිකාව තුල අපිට විවිධ ප්‍රේම කතා හමුවෙලා තියෙනවා. මෙහි පවසනවා රුවල් නඟා යන නැව් දැක. මොනවද මේ රුවල් නැව් කියන්නේ.  ඇගේ පවුල තම සැමියා මුදල් නොමැති කෙනෙක් විය හැකි යි. නොමැතිනම් රුවෙන් අඩු විය හැකි යි. එසේත් නොමැතිනම කුලය, යාන වාහන, තෘප්තිමත් ලිංගිකත්වය නොමැති විය හැකි යි. ඇයට පොහොසත් සොදුරු මිනිසුන් හමුවූ බව කියනවා.
තම සැමියා නිතර නිවසේ නොසිටින අවස්ථාවල් වල දී අනිසි අසම්මත පිරිමින්ගේ ඇල්ම බැල්ම අයුතු යෝජනා ඇයට පැමිණි බව කියනවා. නමුත් තම සැමියා ඇය කෙරෙහි ලිංගික තෘප්තිය ලබා නොදුන්නද ප්‍රේමය එලෙසම දෙදෙනා අතරම පවතින බව කියනවා. ඇය ඒ සොදුරු ප්‍රේමයම පමණක් පතා කටයුතු කරන බව නැව් නගින්න හිත නෑ තොටියෝ" ලෙස ව්‍යංගයෙන් පවසනවා. සැමියා තුල ඈ කෙරෙහි ඇති විශ්වාසය ඇය මේ රාගය හේතුවෙන් බිලි දීමට සූදානම් නැත. 

මෙයයි නිවැරදි බිරිඳකගෙන් සිදුවිය යුතු ප්‍රධානම යුතුකම වන්නේ. ඇය මේ බව හොදින්ම වටහා ගත් කුල කාන්තාවක්. මිනිසෙක් කුලවත් හා උසස් යැයි සම්මත සමාජයෙන් වෙනස් විය යුත්තේ මේ කියන ප්‍රබල කාරණාවන් මතය. කෙනෙකු උප්පැන්නයක ඇති වාසගමකින් කුලවත් යැයි මැනිය නොහැකි වන්නේ තමා කරන ක්‍රියාවෙන් උසස් විය යුතුවන බැවිනි. ස්ත්‍රියක් පුරුෂයෙකු ලෙස සොදුරු අදහස් දරන්නන් වීම ම මෙවැනි අනුවේදනීය මාතෘකාවන් සමාජයේ බිහි නොවන්නේය.
 
නුඹෙ ඔරුවෙන් යලි දවසක
කුමුදු පිපෙන හද එලියක
එතෙර යන්න ආසයි තොටියෝ

කොයිතරම් පිරිමින් ඇය කෙරෙහි තෘප්තිමත් වූ වද ඇය තම පතිවත කෙලෙසා ගන්නේ නැත. ඇය පවිත්‍ර සංස්කෘතිය තුළ පවුල් කුටුම්භය රකින නියම ගැහැනියක් බව පද රචකයා මෙහි දී ඉතා සියුම් ලෙස ඔප් නැගීමට සමත් වී තිබෙනවා. ප්‍රේමය කියන්නේ ලිංගිකත්වයම නොවෙයි. නමුත් ප්‍රේමය තුල ලිංගිකත්වය සොදුරු ලෙස ගොඩනැගිය යුතු යි. එය බලහත්කාරකමක් තවත් කෙනෙකුට චිත්ත පීඩාවක් නොවිය යුතු යි. දෙදෙනාම එකෙකු ලෙස මෙය රසවිදිය යුතු යි. 

ගැහැනිය තුල පවතින මිහිරියාව පුරුෂයෙකුගේ ආධිපත්‍ය තුලට ග්‍රහනය වීම තුල ආත්මාර්ථය නැමති ගට්ඨනය පලවා හැරිය යුතුයි. මේ තුල පැවතිය යුත්තේ අනියම් ලිංගික ඇසුරක් නොවේ. ඇය තවත් පිරිමියෙකුගේ රාග ගින්න සන්තර්පනය කල ද ඇයව ඔහු තමා සතු කරගන්නේ නැත. ඔහු මා ඉහත කී පරිදි තම කුල ගෞරවය ගැන සිතන කෙනෙකු විය හැකිය. නමුත් ඇය හා සතුටු වීමට ඒ කියන කුල ගෞරවය ඔහුට බලපාන්නේ නැත. තම සැමියාගෙන් නොලැබෙන ලිංගික තෘප්තිය වෙනත් පිරිමියෙකුගේ ශරීරය නිවා දැමීමට ඇය පෙලඹෙන්නේ නැත්තේ මේ කියන කාරණාව මත වන්නට ඇත. නමුත් ඇයට සිතෙන්නට ඇති ද මේ ප්‍රේමය හැර දමා යන්නට. 

ඇය තම සැමියා වෙනුවෙන් තම ජීවිතයම කැප කරන බව පවසනවා.  විවාහයෙන් පසු තම වගකීම හා යුතුකම වන්නේ තම පරපුර වගේ ම තම පවුල රැක ගැනීමයි. පවුලක් විනාශ වීමට සැමියා මෙන් ම බිරිඳ ද වගකිවයුතු වෙනවා. දෙදෙනා අතර නොගැලපීම් හේතුවෙන් දික්කසාදය දක්වා මේ කියන විවාහා බැඳීම් ගෙන යන අවස්ථා වැඩි ප්‍රමාණයක් නූතන සමාජ කුටුම්භය තුල දැකිය හැකි වෙනවා. 

ඒ කෙසේ වෙතත් ඇගේ හදවතේ ප්‍රේමය සැමදාම ඔහු වෙනුවෙන් බව පවසනවා. ඒ ප්‍රේමය තුල ඇයට තවත් බලාපොරොත්තුවක් තියෙනවා. දවසක නුඹ මාව එතෙර කරාවි. මං ඉවසීමෙන් ඉන්නම්. ඒ වනතුරු මා නුඹ වෙනුවෙන් ම ඉන්නම්. ඒ දවස මා මෙන් ම නුබත් ප්‍රේමයෙන් ඉතිරේවි. වෙනත් ප්‍රේමයක් මට අවැසි නැත. නුඹම පමණයි මට අවැසි. 

"නුඹෙ ඔරුවෙන් යලි දවසක එතෙර යන්න ආසයි තොටියෝ"

ප්‍රේමය කියන්නෙම බලාපොරොත්තුවක්. එය නුබෙත් මගෙත් සසර කෙලවර දක්වා පැමිණෙන ආත්මීය වශයෙන් වෙන් කල නොහැකි උත්තරීතර හැඟීමක්. කලා නිර්මාණයක් තුලින් බිහිවූ මෙම අප්‍රකාශිත අනුවේදනීය ශෘංගාරය තුල ඇත්තේ ද කාටත් නොකියූ ඒ සත්‍ය කතාව නොවේ ද..



Post a Comment

4 Comments

  1. Perfect article 👌❤️💯🔥

    ReplyDelete
  2. Harima lassanai adare gana hari lassana kathawak.aththatama godak denek nirmanayak mathupitin dakkata eke athule thiyena haraya gana nodannawa wenna puluwan. E ayata wagema githa rasa widinnanta godak wadagath lipiyak❤👍

    ReplyDelete