Header Ads Widget

Responsive Advertisement

ඔහොම යං දස්සා.. ඔහොම යං - Sri Lanka Cricket


ශ්‍රී ලංකාවේ වැසියන් හරි පුදුමාකර කොට්ටාශයක් බව දන්නෝ දනිති. එක්තරා පැත්තකින් සංස්කෘතික සහ ආගමික ආභාශයත්, අධ්‍යාපනික ක්‍රමවේදයේ ඇති අඩු ලුහුඩුකම් නිසා ඔවුන්ගේ හැසිරීම් සහ නිගමනයන් පුදුමාකාරය. ලංකාවේ අවමගුලකදී මියගිය ඇත්තාගේ ලඟම ඥාතීන් හඬන්නේ නැත්නම් මළගෙදර එන සෙසු ජනයා කියන්නේ ඥාතීන් එක්කෝ මියගිය පුද්ගලයාට ආදරේ නැති බවයි, නැත්නම් වෙන මොකක්හෝ කතාන්තරය කි. සත්‍ය වශයෙන්ම මියගිය පුද්ගලයාගේ ලඟම ඥාතීන් තමන්ට හැකි උපරිමයෙන් අදාල පුද්ගලයාට උපස්ථාන කර අවසානයේ ඔහු මියගිය පසු හිත දැඩිකරගෙන ඉතා අධිෂ්ඨානශීලීව එකී වෙන්වීමට මුහුණ දුන්නද ලංකාවේ මිනිස්සු කැමති මළගෙවල්වල අඬන සහ මගුල් ගෙවල්වල හිනාවී ජෝගි දමන මිනිස්සුන්ට ය. ඒ රාමුවෙන් පිටත හැසිරෙන මිනිස්සු ලංකාවට අනුව ‘අවුලක් ඇති එවුන්’ ය.

ක්‍රීඩාවේදී පවා මෙකී ඊනියා න්‍යාය අදාල බව සැකයක් නැත. එක්කෝ තරඟයක් පැරදුනොත් නායකයා ඇතුලු කණ්ඩායම හඬාවැටිය යුතුය. නැත්නම් අඩුම තරමේ අප්සට් එකේ සිටිය යුතුය. පරාජය සිනහවෙන් හෝ ඉවසීමෙන් බාරගන්නා ක්‍රීඩකයන්ට ලංකාව එච්චර කැමැත්තක් නොදක්වයි. පරාජයකදී හැඬුවේ නැත්නම් එක්කෝ ‘රට ගැන හැඟීමක් නැත’ එසේත් නැත්නම් ‘තරඟය පාවාදී ඇත’ යන ලේබල් වැදීම වළක්වාගත නොහැකිය. ඒ ලංකාවේ ප්‍රේක්ෂකයාගේ හැටිය. එහෙත් ඒ බොහොමයක් අදහස් සහ උදහස් එන්නේ පරාජයන් හි ප්‍රතිඵල ලෙස මිස සැබෑ වෛරීය කෝන්තර නිසා නොවන බවද කිව යුතුය. කෙසේ වුවත් ඉන්දියාවේ හෝ වෙනත් ඇතැම් ආසියාතික රටවල්වල මෙන් තරඟ පරාජය වූ පසු ක්‍රීඩකයන්ගේ ගෙවල් කුඩු කරන මට්ටමේ ප්‍රේක්ෂකයන් ලංකාවේ නැතිවීම ගැන එක පැත්තකින් සතුටුවිය හැකිය.

ඉන්දියාව සහ ලංකාව අතර එක්දින තරඟාවලිය ඊයේ(24) අවසන් වුනේ ඉන්දියාවට 2-1 තරඟාවලි ජයක් හිමිකරමින්ය. ඇතැම්විට දෙවැනි තරඟයේ අවසන් පන්දුවාර 10 ඉරණම වෙනස්වුණානම් ලංකාවට අවුරුදු 24 කට පසුව ඉන්දියාව සමඟ එක්දින තරඟාවලි ජයක රසය විඳන්නට ඉඩකඩ තිබිණි. ඒත් දෙවනි තරඟය ඉන්දියාව පරාජයට පත්වුණානම් තෙවනි තරඟයේ නවකයන් 5 දෙනෙකුට අවස්ථාව නොලැබීම වගේම Do or Die තරඟයක් බවට තුන්වෙනි තරඟය ඉන්දියාව විසින් පත්කරන්නටද ඉඩ තිබිණි. කෙසේ වුවද ඉරණම මෙසේ බාරගත යුතු අතර මේ තරඟාවලියෙන් ඔබ්බට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගමන්මග ගැන කතාකල යුතුය.

දසුන් ශානක නායකත්වයට පත්වන්නේ මේ තරඟාවලිය ඉලක්ක කරගෙනය. එක්දින තරඟ 6 කදී පරාජයන් 5ක් සහ විස්සයි විස්ස තරඟ 3න් 3ම පරාජයට පත්ව කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වය අභියෝගයකට ලක්ව තිබියදි මිකී ආතර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කුසල් ජනිත්ගේ නායකත්වය අගයමින් කතාකල දිනට පසුදින ඔහුට නායකත්වය අහිමිවිය. දසුන්ට නායකත්වය ලබාදෙනවිට ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තරයට ලියන මාධ්‍යවේදීන් පවා දසුන්ට පහර පිට පහර ගැසුවේ නායකත්වය ලබාගන්නට කොන්ත්‍රාත්තුව සම්බන්ධ සටන පවා දුන් ක්‍රීඩකයා ලෙස හංවඩු ගසමින් ය. ක්‍රීඩකයින් අතර අභ්‍යන්තර ප්‍රශ්න උලුප්පා ක්‍රීඩකයින් පාච්චල් කරනවා වෙනුවට අපි හැමදාමත් උත්සහ කලේ ක්‍රිකට් ක්‍රීඩාවක් ලෙසත් ඔවුන් ක්‍රීඩකයින් ලෙසත් සලකා කටයුතු කිරීමටය.

ඒ නිසාම දසුන්ගේ නායකත්වය ධනාත්මක තේරීමක් ලෙස සැලකීමට අපට සාධක කිහිපයක් තිබිණි. එකක් දසුන් නායකයෙක් ලෙස මුලින්ම අවදානම්සහගත සංචාරයකට පාකිස්ථානයට නවක කණ්ඩායමක් සමග යෑම සහ එවකට විස්සයි විස්ස අංක එක කණ්ඩායම වූ පාකිස්ථානය ඔවුන්ගේ ජනම භූමියේදීම අති විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ 3-0 ලෙස පරාජය කිරීමය. එහෙත් ඉන්පසු පාකිස්ථානයට ගිය දිමුත් ඇතුළු කණ්ඩායමට පරාජයේ මිහිර මිස ජයග්‍රශණය භුක්ති විඳින්නට බැරිවිය. දෛවයේ සරදමකට මෙන් ලංකාවේ තේරීම් කමිටුව දැන් තෝරාගෙන තිබෙන්නේද එදා පාකිස්ථානයේ ජයගත් කණ්ඩායම ය. වෙනසකට ඇත්තේ ෂෙහාන් ජයසූරිය සහ නුවන් ප්‍රදීප් ඒ තුල නොවීම ය.

අනෙක් පැත්තෙන් දසුන් ශානක නායකයෙක් ලෙස සෙසු ක්‍රීඩකයන් සමග ඉතා සුහදව සහ උනන්දුවෙන් කටයුතු කරන්නෙක් බව LPL තරඟාවලියේ දඹුල්ල කණ්ඩායමේ නායකත්වය දැරූ ආකාරය අනුව සාක්ෂි අප සතුව විය. ඒ නිසා දසුන්ව නායකයා කිරීම සහ ධනංජය උපනායකත්වයට පත්කිරීම අපි ධනාත්මකව බාරගත්තෙමු. එහෙත් කුසල් ජනිත් නායකත්වයට සහ කුසල් මෙන්ඩිස් උපනායත්වයට පත්කිරීම එසේ බාරගන්නට හැකියාවක් නොතිබිණි. එයට හේතුව කුසල් ජනිත් නායකත්වය සම්බන්ධයෙන් සාර්ථක බවට කිසිඳු පැහිදිලි උදාහරණයක් අප සතුව නොවීමය. ආසන්න වශයෙන්ම LPL තරඟාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මෙහෙයවූ කුසල් ජනිත් එය තරගාවලියෙන් මුලින්ම විසිවුණු කණ්ඩායම බවට පත්වූවද සැලකියි යුතු කිසිඳු දස්කමක් පෙන්වීමට සමත්කම් නොදැක්වීය. අඩුම තරමේ පන්දු යවන්නන් භාවිතාව සම්බන්ධයෙන් පවා දැඩි විවේචන එල්ලවූයේ ඇතැම් විශේෂඥ පන්දු යවන්නන්ට තරඟ ගණනාවකදී එකම පන්දුවක් හෝ යැවීමට නොලැබීම වැනි කාරණා සමගය. අනිත් පැත්තෙන් කුසල් මෙන්ඩිස් දිගින් දිගටම අසාර්ථකවීම නිසා කණ්ඩායමෙන් එළියේ තැබූ ක්‍රීඩකයා හදිස්සියේම උපනායකයා ලෙස කණ්ඩායමට ඇතුලත් කිරීම ඉතාම අස්වාභාවික ජෝක් එකක් බව ප්‍රමෝද්‍යයට හෝ කළුවිතාරණට නොතේරුණාදැයි අපි නොදන්නෙමු. 

කුසල් ජනිත් පෙර්රා සහ කුසල් මෙන්ඩිස් දක්ෂ සහ දිගු ගමනක් ඇති පිතිකරුවන් බවට අවිවාදයෙන් යුතුව පිළිගත යුතුය. අපට අනුව කුසල් ජනිත් යන ඊළඟ සනත් ජයසූරිය විය, කුසල් මෙන්ඩිස් යනු ඊළඟ සංගක්කාර විය. ඔවුන් ඒ ගමනේ එක් එක් තැන්වල වරද්දාගත්තද ඔවුන් දක්ෂ ක්‍රීඩකයන් බව සහ ඉදිරිය නිවැරදි කරගත යුතු ඇත්තන් බවට සැකයක් නැත. නමුත් නායකත්වය ඔවුන්ට පැවරීම ගැටළුසහගත විය.

දසුන්ගේ නායකත්වයෙන් පැවති පළමු තරඟාවලියට ඉන්දියාවේ දෙවන පෙළ කණ්ඩායමක් එවූ බවට චෝදනා එල්ලවිය. එහෙත් ශිකර් ධවාන්, බුවනේෂ්වර්, හර්දික්, යුස්වේන්දර්, කුල්දීප් වැනි ක්‍රීඩකයන් කිසිවිටක දෙවැනි පෙළකට ඇද දැමිය හැකිදැයි ප්‍රශ්නයක් තිබේ. එසේම ප්‍රිත්වි, ක්‍රිෂණන්, සූර්යකුමාර් වැනි නවක ක්‍රීඩකයන්ගේ අභියෝගය ලෙහෙසි පහසු නැත. අනිත් පැත්තෙන් ලංකාවෙන් ඉදිරිපත්කලේ පළමු පෙළ කණ්ඩායමද කියා විමසා බැලිය යුතුය. වැඩිම අත්දැකීම් සහිත ක්‍රීඩකයා වන ධනංජය ද සිල්වා පවා එක්දින තරඟ 50ක් ක්‍රීඩාකර නොමැති. අති බහුතරයක් ක්‍රීඩකයින් තරඟ 10ට අඩු අත්දැකීම් සහිත ක්‍රීඩකයන් ය. ඒ නිසා මෙය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වුවද තුන්වැනි පෙළ කණ්ඩායමක් බව කිව යුතුය. සැබෑ ලෙස ඉන්දියානු පිළ සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමාන වන්නේ තුන්වැනි එක්දින තරඟයේ ය. 

තරඟාවලිය පරාජයට පත්වූවද දසුන්ගේ නායකත්වය සහ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ආකල්ප සහ ක්‍රීඩාශීලීභාවය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ඇති බව පිළිගත හැකිය. වෙනදාට වඩා කණ්ඩායම තරඟයේ ඉන්නා බව ප්‍රේක්ෂයන්ට මෙන්ම තරඟයේ ලකුණු පුවරුවද සාක්ෂි දරයි. එය ඉදිරිය ගැන හොඳ පෙරමග ලකුණකි. හෙටින් ඇරඹෙන විස්සයි විස්ස තරඟාවලියට ද මෙකී ලක්ෂණ රැගෙන ගියහොත් එය ඔක්තෝම්බරයේ ඇරඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහ 2023 ලෝක කුසලානයට හොඳ ආරම්භයක් වනු ඇත.

ගැටළුව ඇත්තේ ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව මේ කණ්ඩායමට කොතරම් දුරට යන්නට ඉඩදේවි ද කියාය. දැනගන්නට ලැබෙන පරිදි මේ වනවිට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන දිමුත්, මැතිව්ස්, චන්දිමාල්, නුවන් ප්‍රදීප්, ලක්මාල් ක්‍රිකට් ආයතනය සමග ඔවුන්ගේ ක්‍රිකට් අනාගතය පිළිබඳ සාකච්ඡා කරමින් පසුවෙති. එසේම කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්ද පවතින වටපිටාව වෙනස්වීම සමග කණ්ඩායමට එක්විය හැකිය. 

එහෙත් අපේ විශ්වාසය 2023 ලෝක කුසලානය ඉලක්ක කරගෙන එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් ලෙස මේ කණ්ඩායම ඉදිරියට යා යුතුය. අවිශ්ක ප්‍රනාන්දු, වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර තමන්ගේ පුරුදු රිද්මයට පැමිණෙන බව පෙනෙන්නට ඇත. එහෙත් වනිඳුගේ පිත්ත මීට වඩා වගකීම්සහගතවීම සිදුවිය යුතුය. දසුන් ශානක නැවත පන්දුව අතට ගැනීම සහ තීරණාත්මක සබඳතා බිඳහෙලීමට ඔහුගේ ඇති හැකියාව දකින විට සිහිපත්වෙන්නේ අරවින්ද සහ ජයසූරියගේ පන්දු යැවීමය. දසුන්ගේ පිතිහරණය තවත් මුවහත්විය යුතු අතර එවිට ප්‍රතිඵලය තවත් සාර්ථක විය හැකිය. මිනෝද් භානුක කඩුල්ල පිටුපස සිට මෙන්ම ආරම්භක පිතිකරුවා ලෙස සැලකිය යුතු රාජකාරියක් ඉටුකරයි. විශේෂයෙන්ම මිනෝද්ට පිතිකරුවා කියවීමට අපූරු හැකියාවක් ඇති නිසා කඩුල්ල පිටුපස සිට ඔහුගේ තියුණු දෑස මෙන්ම නිතරම සිදුකරන දිරිගැන්වීම් සිහිපත්කරන්නේ දැනට තේරීම් කමිටුවේ පවා සිටින රොමේෂ් කළුවිතාරණය. ඒ නිසා කළුවිතාරණ මිනෝද්ව ඉවත නොදමනු ඇත යන්න අපේ විශ්වාසයයි. අවසන් තරඟයේ දී නැවත ජවයක් ලැබූ අකිල ධනංජයගේ කාර්යභාරයද ඉදිරියේදී තීරණාත්මකය.

තරඟාවලියේදී සිදුවූ වැදගත්ම සිදුවීම් නම් එක් පැත්තකින් චාමික කරුණාරත්න නැමති අපූරු තුන් ඉරියව් ක්‍රීඩකයාගේ සැබෑ දස්කම් එළියට පැමිණීම සහ තමන්ගේ මංගල ටෙස්ට් තරඟයේම කඩුලු 11 ක් ලබාගත්තද එංගලන්තයේදී කුසල් ජනිත්ගේ නායකත්වය යටතේ එක් පන්දුවාරයක් යැවීමෙන් පමණක් සෑහීමකට පත්වන්නට සිදුවූ යොවුන් දඟ පන්දුයවන්නා ප්‍රවීන් ජයවික්‍රමගේ එක්දින තරඟ පිටියේ භූමිකාව ඉස්මතුවීමය. තුන්වැනි එක්දින තරඟයේදී වනිඳු හසරංඟගේ තීරණාත්මක භූමිකාව අහිමිවීම සහ අකිල ධනංජය පවා ප්‍රහාරයට ලක්වීම සමග ප්‍රවීන් ජයවික්‍රම මත විශ්වාසය තැබීමට දසුන්ට සිදුවිය. මුලින් ප්‍රහාරයට ලක්වූවත් පන්දුවාර කීපයක් තුල තමන්ගේ සුපුරුදු රිද්මය වන තියුණු දඟකැවීම වෙනුවට පන්දුවේ වේගය පාලනය කිරීම යන උපක්‍රමය ප්‍රවීන් ඉතා හොඳින් ක්‍රියාත්මක කරන නිසා ඉතා තීරණාත්මක කඩුළු තුනක් ලබාගැනීමට ඔහුට හැකිවිය. එසේම චරිත් අසලංක ද දැන් දැන් වඩා වගකීම්සහගතව පන්දුවට පහරදෙන අයුරු පෙනෙන්නට ඇත. එපමණක් නොව පසුගිය සමයේ දැඩිසේ කතාබහට ලක්වූ භානුක රාජපක්ෂ පළමු තරඟයේ සහ තෙවැනි තරඟයේ fearless Cricket යන්න කුමක්ද කියා ශ්‍රී ලංකා පිතිකරුවන්ට කියාදෙන්නට උත්සහ ගන්නා අයුරු පැහැදිලිය. භානුකගේ දැවැන්ත පහරවල් නිසා පන්දු යවන්නන්ගේ පීඩනය ඔහු නොඉවසන බව පැහැදිලිය.

එකම ගැටළුව ඇත්තේ ධනංජය ද සිල්වාගේ රිද්මය ගිලිහී වගකීම් විරහිත පහරවල් එල්ලකිරීම සහ ඉසුරු උදානගේ පන්දුව පෙර තරම් උපක්‍රමශීලී නොවීමය. ඔවුන් දෙදෙනාට මේ කණ්ඩායම සමග ඉදිරියට යාමට නම් සුපුරුදු රිද්මයට වේගයෙන් අවතීරණවන්නට සිදුවනු ඇත. කෙසේ වුවත් දැන් දැන් ප්‍රේක්ෂකයන්ද මෙකී වෙනස ඉතා අවබෝධයෙන් බාරගන්නා බව පෙනෙන්නට ඇත. පන්දුවාර 20 තරඟාවලිය ද දසුන්ගේ නායකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක තරඟාවලියකි. ඉවසීමෙන් යුතුව ඒ දෙස බලා සිටිය යුතුය. කෙසේ වුවත් දසුන්ට අපි කළුවිතාරණගේ භාෂාවෙන් කිව යුතු වන්නේ.

‘ඔහොම යං දස්සා.. ඔහොම යං’ කියාය.


Post a Comment

0 Comments