Header Ads Widget

Responsive Advertisement

ගුරුවරුන්ට අම්බානෙක සලකන රටක් ! - Nomadland

 


පානදුර බස් නැවතුමේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථවලට නිතර ගොඩවෙන ඉතා පිළීවෙලට හැඳ පැළඳගත් වයස හැට හැත්තෑව අතර තාත්තා කෙනෙක් දිනක් ලඟට ඇවිත් ලියුම්කරු වෙතට දිගුකලේ පිටපත්කල ඩී.වී.ඩී තැටි කිහිපයකි. පැරණි ළමාගීත එහි අඩංගු බවත් අවශ්‍ය නම් පමණක් මිලට ගන්නා ලෙස පැවසුවද ඔහු සාමාන්‍යයෙන් හමුවෙන වෙළෙන්දෙක් ලෙස නොපෙනුන නිසා ලියුම්කරු ඔහුගෙන් තැටි කිහිපයක් මිලට ගෙන ඉන් නොනැවතී ඔහුගේ වගතුග විමසුවේ නොසන්සිඳුණු කුතුහලය නිසාවෙනි.

‘මහත්තයෝ මෙන්න මගේ ජාතික හැඳුනුම්පත’ එහි ඔහු පෙන්වූ දෙය දුටුවිට ලියුම්කරු පුදුමයට පත්වුණේ ඔහුගේ හැඳුනුම්පතේ වෘත්තීය ලෙස ‘ගුරු වෘත්තිය’ සඳහන් වීම. ‘මම විදුහල්පති කෙනෙක් විදිහට තමයි මහත්මයා විශ්‍රාම ගියේ..ඒත් මගේ පුතා රට යන එකට ණය ගත්තේ මගේ පෙන්ෂන් එක ඇපේට තියලා..දැන් වාරික හිරවෙලා පෙන්ෂන් එකෙන් ලොකු ගාණක් ඒකට කැපෙනවා..පුතාටත් මේ දවස්වල අමාරුයි..ඒ නිසා මම පුළුවන් විදිහට අඩුපාඩු පියවගන්න මේක කරනවා.. අපි රස්සාව කියලා සල්ලි පොදි ගහගත්තු මිනිස්සු නෙමෙයි මහත්තයෝ..ඒ නිසා මේ විදිහට දුෂ්කර කාලයක යම්කිසි ඉපයීමක් කරන්න අවශ්‍ය නිසා මේක කරනවා..මගෙන් ඉගනගත්ත දරුවෝ එහෙම නිතර මුණගැහෙනවා..ඒ වෙලාවට මට මම ගැන ලොකු කළකිරීමක් දැනෙනවා මහත්තයෝ.’

ලංකාවේ හැම ගුරුවරයෙක්ම ටියුෂන් ගුරුවරු නොවෙති. එසේම හැම ටියුෂන් ගුරුවරයෙක්ම ලක්ෂපතියන් නොවෙති. ඇතැම් ගුරුවරුන්ගේ ජීවිතයේ සැඳෑ සමයේ උරුමය ඉහත පුද්ගලික අත්දැකීමෙන් ලියුම්කරු ඉතා හොඳින් අත්විඳ තිබේ. පෙරකී සිදුවීම සිහිපත්වූයේ මෙරට ගුරුවරුන් උදෙසා ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය සහ තවත් එක් එක් පාර්ශව මේ දිනවල ඉතා අඩු නොමැතිව ලබාදෙන ‘ගෞරව පට්ටම්’ දකින්නට ලැබෙන නිසාය.

රජයේ ප්‍රධාන පෙලේ ඇමතිවරයෙක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම රටේ නිදහස් අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහිව හඬනගන ගුරුවරුන් ‘කාළකණ්ණි’ ලෙස හැඳින්වීමේ සිට සමාජ ජාල වෙබ් අඩවිවල ඉතා දැඩිලෙස දේශපාලනිකව වහල්භාවයට ලක්වූ පාක්ෂිකයන් හෝ ආධාරකරුවන් ලවා ගුරුවරුන් අපහාසයට ලක්කරන ලියවිලි පලකිරීම වැනි ඉතා නිර්ලජ්ජිත සහ නින්දිත තැනකට වැටී තිබීම ඉතාම කණගාටුදායක සිදුවීමකි.

මේ රටේ ඕනෑම රැකියාවක් කරන පුද්ගලයෙක්ට හෝ පිරිසකට තමන්ට වෘත්තීයමය වශයෙන් ආසාධාරණයක් සිදුවෙනවානම් ඒ සම්බන්ධයෙන් වෘත්තීමය ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාව තිබේ. ඒ නිසා වර්ජනය කරන්නේ ගුරුවරුන් පමණක් නොවේය. එහෙත් ලංකාවේ බහුතරයකගේ විශ්වාසය ‘කව්රු වර්ජන කළත් ගුරුවරු වර්ජනය නොකළ යුතුයි’ යන ඉතා බාල මට්ටමේ තේමා පාඨයකි. ඇතැම් අය තර්ක කරන්නේ ගුරුවරුන් පිං පඩි ලබන බවත් හවස 1.30 වෙද්දී රැකියාව නිමවන නිසා ‘අයිස් ජොබ්’ එකක් ලෙස හඳුන්වමින්ය.

ලියුම්කරු මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබා ඇති නිසාත් වසර 17කට වැඩි කාලයක් පාසල් ගුරුවරුන් සහ විශ්වවිද්‍යාලා ආචාර්යවරුන්ගෙන් ලැබූ දැනුමෙන් පෝෂණය වී ඇති නිසා එකී වෘත්තීයේ ඇති ගෞරවනීයභාවය සහ වැදගත්කම ඉතා හොඳින් හඳුනන බව ලියා තැබිය යුතුය. සෑම වෘත්තිකයෙක්ටම ගෞරවයක් ඇත. එසේම තමන්ගේ ශිෂ්‍යයන් තමන් ඉක්මවා ඉහළට යනු දැක සතුටුවිය හැකි එකම වෘත්තිය ගුරු වෘත්තිය නිසාවෙන් මේ රටේ ‘දුෂ්යෙන්’ පරපුර සම්බන්ධයෙන් හෘද සාක්ෂියක් ඇති සැමටම විශාල ගෞරවයක් තිබේ.

මේ රටේ ඇතැම් අමාත්‍යංශවල කාර්යාල කාර්ය සහයක තනතුර දරන්නන් ලබන වැටුප දීමනාද සමග සලකා බැලුවොත් ගුරුවරයෙකුගේ මුළු වැටුප මෙන් කිහිප ගුණයකි. ඇතැම්විට පෙරකී අමාත්‍යංශවල, ආයතනවල කාර්යාල කාර්ය සහයකයින්ට පවා ලැබෙන දීමනා, වරප්‍රසාද කිසිවක් ගුරුවරුන්ට හිමිවන්නේ නැත. එහෙත් මේ රටේ දරු පරපුරට පාර කියන්නට සොච්චම් වැටුපක් ලබමින් තමන්ගේ ජීවිතයේ සොඳුරුතම කාලය වැයකරන ගුරුවරුන්ට තමන්ගේ වැටුප් විෂමතාවක් පදනම් කරගෙන හෝ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පැවැත්ම පදනම් කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නාවිට ඔවුන් කාළකණ්ණි ලෙස හැඳින්වීම හරි අපූරු යෙදවුමකි. 

වෛද්‍යවරුන්ට, වරාය සේවකයින්ට, තැපැල් සේවකයින්ට, ලංගම සේවකයින්ට, හෙද සේවකයින්ට වර්ජනය කරන්නට අයිතිය ඇත. එවිට මිනිස්සු බනින්නේ ආණ්ඩුවටය. එහෙත් ගුරුවරු වර්ජනය කරන විට ආණ්ඩුව මෙන්ම මේ රටේ ඇතැම් ජන කොට්ඨාශ බැනවදින්නේද ගුරුවරුන්ටම ය. එයද අපූරු අවස්ථාවකි. ගුරුවරුන්ගේ වැටුප සම්බන්ධයෙන් හෝ ගුරුවරයෙකුගේ සේවය සම්බන්ධයෙන් විමසා බැලිය යුත්තේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ඇතිවය.

අද වනවිට අධ්‍යාපන අමාත්‍යංශය විසින් විෂය නිර්දේශ මත පදනම්ව සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිපාලනමය කටයුතු විධිමත් කිරීම යන නාමමාත්‍රික අදහසින් කුමක්දෝ කරන නිසා ගුරුවරුන්ට ඉගැන්වීමට අමතර විශාල ලිපි ලේඛන තොගයක් සකස් කිරීමට සිදුව ඇත. එවැනි අතිරේක වැඩ රාජකාරි නිසා මගහැරෙන අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය දේ සකස් කරගැනීම සහ නැවත හැදෑරීම් කිරීමට ගුරුවරුන්ට සිදුවෙන්නේ නිවාඩු දිනවල ය. ඒ නිසා ගුරුවරුන්ට මගහැරෙන පුද්ගලික ජීවිතය සහ සිය දරු පවුල පිිළිබඳ මානසික වටපිටාව කිසිවෙකුත් දන්නේ නැත. පෙරකී පරිද්දෙන්ම සියළුම ගුරුවරු ටියුෂන් ගුරුවරු නොවන නිසාත් ටියුෂන් කරන සියළුම ගුරුවරු පාසලේ උගන්වන ගුරුවරු නොවන බවත් මතක තබාගත යුතුය.

අනිත් පැත්තෙන් කොරෝනා උවදුර නිසා පාසල් පද්ධතිය අඩපණව තිබියදී Zoom යෙදවුම භාවිතයෙන් දරුවන්ට විභාගවලට අවශ්‍ය සහය සහ එදිනෙදා අධ්‍යාපන කටයුතු කිරීමට ගුරුවරුන් ආරම්භකලේ අධ්‍යාපන අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් පෙළඹෙන්නටද පෙරය. ඊටත් පෙර ඇතැම් දුෂ්කර පාසල්වල ගුරුවරු ජංගම දුරකතන නැති ගම්වල අහිංසක දරුවන් වෙනුවෙන් තමන්ගේ වියදමෙන් පිටපත්කල පාඩම් බෙදාදී අධ්‍යාපන කටයුතු හැකිතාක් දුරට හෝ සිදුකරන්නට උත්සහ කළ අයුරු මීට වසරකට පමණ පෙර මතකය අවදිකිරීමෙන් සිහිකැඳවිය හැකිය. 

ගුරුවරුන්ට ජංගම දුරකතන මිලට ගන්නට හෝ බිල්පත් ගෙවීමට දීමනා හිමිනොවන බව ලියුම්කරුගේ විශ්වාසයයි. එවැනි තැනකදී තමන්ගේ පුද්ගලික ජංගම දුරකතනය, ඩේටා කාඩ්පත වැයකරමින් විනාඩි 45න් විසන්ධීවන zoom යෙදවුමේ නොමිලේ ගිනුමක් සකස් කරගෙන දරුවන්ට අධ්‍යාපානය දෙන්නට ගුරුවරුන් මහන්සිවූ බව මේ රටම දන්නා කරුණකි. අනිත් පැත්තෙන් ඇතැම් ගුරුවරු zoom යෙදවුමට මාසිකව විශාල ගාස්තුවක් ගෙවමින් පවා අමතර කාලයද වැයකරමින් දරුවන්ගේ විභාග වෙනුවෙන් මහන්සිවූ බව අද ඔවුන්ට කාළකණ්ණි ලෙස නම් පටබඳින් පාර්ශවයන්ගේ හෘද සාක්ෂිය පවා දන්නා කරුණකි. කලකදි වහලු කලකදි රස වනවා මෙන්ම එහි අනිත් පැත්තද විය හැකි බව දෛවය විසින් ගුරුවරුන්ට පෙන්වා දී ඇත.

මේ රාජ්‍යය දශක ගණනාවක අතීතයේ ලක්ෂ ගණනක් සේවකයින් පහර දී රැකියාවලින් දොට්ට දමා ඇත. දහස් ගණනකට වන්දියක් හෝ නොමැතිව රැකියාවලින් එළවා ඇත. ජූලි වැඩ වර්ජකයින්ගේ ජීවිත පසුකලෙක ගෙවුනේ කොතරම් දුක්ඛිත ආකාරයෙන්ද කියා ඇතැම්විට ඔබ අත්දැක තිබිය හැකිය. ඒ නිසා මේ රටේ කාලෙන් කාලෙට පත්වන පාලකයින් වෘත්තිකයන්ට සලකන්නේ අන්න එවැනි ‘සුන්දර’ ආකාරයකට ය.

එක පැත්තකින් ගුරුවරුන් අති බහුතරයක් මේ විඳින්නේ තමන් විසින් වැපිරූ බීජවල අස්වැන්න බවට නොකියාම බැරිය. මෙරට නූගත් ජනතාව අතීතයෙන් පාඩම් ඉගනගන්නේ නැතිබව පැවසුවාට උගත් ගුරු වෘත්තිකයින් සාතිශය බහුතරයක් මල් පොහොට්ටු අතේ තබාගෙන, පන්තියේ දරුවන්ට පවා ‘හෙට රටක් තිබිය යුතු බවට’ ඡන්දයට කලින්ම කියා ගෙදර යැවූ හැටි, ෆේස්බුක් ගිණුම්වල මල් පොහොට්ටු පලකල හැකි ලියුම්කරු සියැසින් දැක අත්විඳ ඇතිනිසා එක් පැත්තකින් මේ ඉරණම ගැන පුදුමයක් නැත. පිරිසිදු වතුර ඉල්ලූ මිනිස්සුන්ට වෙඩි තැබූ, වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා අරගල කර මිනිසුන්ට වෙඩි තැබූ, භූමිතෙල් සහනාධාරය ඉල්ලූ ධීවරයන්ට වෙඩි තබා මැරූ මේ රට ගුරුවරුන්ට එසේ නොසලකාවි යැයි කාහට කිව හැකිද.

ගිය නුවණ බැකෝ දමාවත් ඇද්දවිය නොහැකිය. නමුත් ගුරුවරුන්ගේ දැනුම සහ ඥානය පෙරට වඩා අවදිවී ඇති බව පෙනෙන්නට ඇත. එහෙත් පොදු සමාජයේ ඇතැම් පිරිස් ගුරුවරුන්ගේ අරගලය සිල්ලර තැනකට තල්ලු කර අපහාස කිරීමට පෙර සිහියට ගතයුතු යමක් ඇත. 

ගුරුවරුන් නැතිකර මිනිසුන් බිහිකල නොහැකි ය.


Post a Comment

0 Comments