Header Ads Widget

Responsive Advertisement

‘මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක සාක්ෂිකරුවන් වෙන්න අපිට සිදුවෙනවා ’ – Arundhati Roy

අරුන්දතී රෝයි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉන්දියාව බිහිකල අග්‍රගන්‍ය සහ අනන්‍ය ලේඛිකාවක්. 1997 දී Man Booker ත්‍යාගය දිනාගත්තේ ඇය විසින් රචනාකල ‘ The God of Small things’ කෘතිය වෙනුවෙන්. එය එකල ලොව පුරාම වේගයෙන් අලෙවිවූ කෘතියක් විය. අද ද එහි ඇති ගැඹුරු සමාජයීය,සංස්කෘතික හා දේශපාලනික කියවීම ලොව පුරා පාඨකයන්ගේ රුචිකත්වය වෙනස්මම පරාසයකට රැගෙන යන බව සහතිකය.

‘මම සාමාන්‍යයෙන් නවකතා ෆැක්ට්‍රියක් නෙවෙයි.. මම ඇවිදනවා, ලියනවා, ලෝකය දකිනවා ඒ වගේම මිනිස්සු ජීවත්වෙන විදිහ, හිතන පතන විදිහ අධ්‍යයනය කරනවා. ඒ අතරේ තමයි පොතක් වෙනුවෙන් මගේ කාලය වැයකරන්නේ.. මම The God of small things ලියලා අවසන් කලාම මට විශාල සහනයක් දැනුනා..ඒක එක භාෂාවකින් නෙවෙයි ඉංග්‍රීසි සහ මලයාලම් කියන මට හුරු භාෂා දෙකම මම ඒ වෙනුවෙන් භාවිතා කලා.. ඒක හරියට විශාල ගොඩනැගිල්ලක් උඩ ඉඳගෙන මගේ හිතේ තිබුණු අදහස් බිමට අතාරිනවා වගේ දෙයක්..එතකොට කෑලී කෑලිවලට කැඩිලා ගියපු කොටස් අහුලගෙන කියවන පාඨකයාට මගේ සිතිවිලා සම්ප්‍රේෂණය වෙනවා..’

ඇය 2017 වර්ෂයේදී රචනා කරනු ලැබූ ‘ The Ministry of Utmost Happiness’ කෘතියත් බොහෝ පාඨකයන් දැඩිසේ ආකර්ශණයට නතුකරගත් කෘතියක්. එයට ධනාත්මක මෙන්ම සුපුරුදු සෘණෘත්මක ප්‍රතිචාර ද හිමිවුණා. අද ලෝකය පුරා බොහෝ සෙයින් කතාබහට ලක්වෙන ලිංගික දිශානතිය සහ ලිංගකත්ව අනන්‍යතාවය වැනි ඉතා සංවේදී මාතෘකා මානව වර්ගයාගේ වෙනස්වීම සමගම පරිණාමණය වන ආකාරයද ඇය ඉතා විශිෂ්ට අයුරින් මේ කෘතිය හරහා සමාජගත කරන්නීය.

‘මම හැමවිටම උත්සහ කරන්නේ මගේ ලිවීම් හරහා පාඨකයාට මගේ ජීවිතයේ එදිනෙදා මුණගැහෙන චරිත හඳුන්වාදෙන්න..එතකොට ඔවුන්ට පුළුවන් මට මුණගැසෙන චරිත ඔවුන් ඉදිරියට ආවම පහසුවෙන් හඳුනගන්න..හරියටම එක්තරා විශාල නගරයක අතරමංවුණාම පාර හොයාගෙන නැවත යන්න උදව්වෙනවා වගේ’

ඉතා දිගු කාලයක් මුළුල්ලේ විවිධ පාර්ශව ගණනාවක් සමග ගැටෙමින් ලෝක සාහිත්‍යයට ඇය ඉතිරි කරන පදාර්ථයන් ඉතා ඉහළය. AZADI, My Seditious Heart වැනි කෘතීන් තුලින් ද ඇය පාඨකයා වෙත ගෙන එන්නේ එකී සාහිත්‍යය රසාස්වාදනයේ නිදහස් පරාසයක රසභාවයන් ය.

‘ඉන්දියාව කිව්වම අද ලෝකය දකින්නේ සීඝ්‍ර දියුණුව, බොලිවුඩ් චිත්‍රපටි, තාක්ෂණය වගේ දේවල්..ඒත් තාමත් ඉන්දියාව ඇතුලේ ඉතාම නරක විදිහට ආධිපත්‍ය පතුරවාගෙන ඉන්න කුල පීඩනය, ආගමික අන්තවාදය වගේ දේවල් ගැන බොහෝ දෙනා දකින්නේ නෑ..අනිත් පැත්තට නොපෙනෙන තරමට සැඟවීමත් සිදුවෙනවා..’

ඇය මානව සමානාත්මතාවයට පහර ගසන සියළුම භෞතික සහ එසේ නොවන දේ සම්බන්ධයෙන් දැඩි සේ විවේචනය කරයි. ඇගේ කෘතීන් හරහා මෙන්ම ඇගේ නිදහස් දේශන හරහා ද ඇය පෙරකී දේ ඉලක්ක කරගෙන දැඩිව පහර දෙයි.

‘අපිට මේ දෙවල්වලට එරෙහි වෙන්න වෙනවා..නැත්නම් අපි මනුෂ්‍ය වර්ගයාට එරෙහිව මනුෂ්‍ය වර්ගයා විසින්ම සිදුකරන බරපතල අපරාධයක සාක්ෂිකරුවන් වෙන්න සිදුවෙනවා.’

මූලාශ්‍ර - The Guardian, Louisiana Channel 


Post a Comment

0 Comments