Header Ads Widget

Responsive Advertisement

ඔසාමා බින් ලාදින් ඝාතනය කර වසර දහයයි! - Osama Bin Laden

 


අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස දිගු කලක් ලෝකයේම ආරක්ෂාවට බරපතල තර්ජනයක්ව සිටි ඔසාමා බින් ලාදින් ඇමරිකානු හමුදාවේ විශේෂ ඒකකයක් විසින් ඝාතනය කර අද දිනට (මැයි 2) වසර 10ක් සපිරෙයි. 2001 සැප්තැම්බර් 11 ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට සහ ඒ ආසන්න ස්ථාන කිහිපයකට එල්ලකල මරාගෙන මැරෙන ප්‍රහාරයේ මහ මොළකරු ලෙස නම්කල බින් ලාදින් මෙම ප්‍රහාරයේ වගකීමද බාරගන්නා ලදි.

2001 වසරේ සිට ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් ආරම්භකල අතර එවකට තලේබාන් පාලනයට නතුව සිටි ඇ‍ෆ්ගන් රජය බින් ලාදින් ඇෆ්ගනිස්ථානයේදී කොටුකරගැනීම වැලැක්වීය. ඇමරිකාවට ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකටම තලේබාන් සංවිධානයෙන් එල්ලවූ ප්‍රහාර සමගම බින් ලාදින් කොටුකර ගැනීම ලෝක අවශ්‍යතාවක් බවට පත්ව තිබිණි.

වසර ගණනක් පුරාම ඇමරිකානු හමුදාව සිය ඔත්තු සේවා හරහා මෙන්ම නියමුවන් රහිත ගුවන් යානා භාවිතයෙන් බින් ලාදින් පිළිබඳ තොරතුරු සොයා කාලය ගතකලහ. විශේෂයෙන්ම අල්කයිඩා සංවිධානය සතුව පැවති ජාලය හඳුනා ගැනීම සහ ඒ මගින් බින් ලාදින් සොයා ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නට ඇත.

ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලව් බුෂ්ට තමන්ගේ පාලන කාලය තුල බින් ලාදින් කොටු කරගැනීමට නොහැකිවීමත් සමගම රිපබ්ලිකන් පාලනය ඇමරිකාවු තුල බිඳවැටීමටද හේතුවක් විය. ඉන් පසුව බලයට පැමිණි ඩිමොක්‍රටික් ජනපති බැරක් ඔබාමා බින් ලාදින් සොයා සිදුකරන මෙහෙයුම් තව තව තව වේගවත් කිරීමට කටයුතු කරනු ලැබීය. 

අවසානයේ 2011 වසරේදී ඇමරිකානු ඔත්තු සේවාවල බින් ලාදින් පාකිස්ථානයේ සැඟව සිටින බව දැනගන්නට ලැබුණි. පාකිස්ථානු අගනගරය ඉස්ලාමාබාද්හි සිට කිලෝමීටර් 60ක් දුරින් පිහිටි අබොතාබාද් ප්‍රදේශයේ රහසිගතව සැඟවසිටින බින් ලාදින් සම්බන්ධයෙන් ස්වදේශිකයන්ගෙන් මෙන්ම නියමුවන් රහිත ගුවන්යානා මගින්ද ඇමරිකානු හමුදා නිරීක්ෂණය කරන ලදුව තහවුරු කරගන්නා ලදි.

ඔසාමා බින් ලාදින් පාකිස්ථානයේ සැඟවී සිටි ස්ථෘනය


ඉන් පසුව ඉතා සැලසුම් සහගත මෙහෙයුමකින් එකී ප්‍රදේශයට ඇතුල්වූ ඇමරිකානු හමුදා සෙබළුන් බින් ලාදින් ඝාතනය කර ඔහුගේ රුධිර සහ ශරීර කොටස් ලබාගෙන ඒවා තහවුරු කරගනු ලැබීය. අසල්වැසි ජනතාව පවා එකී ස්ථානයේ රැඳී සිටින්නේ බින් ලාදින් බව දැන නොසිටි අතර, පාකිස්ථානු හමුදාවටද නොදැනී ඇමරිකාව පාකිස්ථානය තුලදී බින් ලාදින් ඝාතනය කිරීම එවකට ප්‍රකට මාතෘකාවක් විය.

බින් ලාදින් ඝාතන මෙහෙයුම සජීවීව නරඹ ඔබාමා ඇතුළු පිරිස


කෙසේ වෙතත් බින් ලාදින් සැගව සිටි ස්ථානය ඇමරිකානු හමුදාව විසින් සම්පූර්ණයෙන්ම විනාශ කල අතර, අදටත් එම ස්ථානයේ කිසිඳු ඉදිකිරීමකට පාකිස්ථානු හමුදාව ඉඩ ලබානොදෙන්නේ අන්තවාදීන් එහි සැමරීම් කිරිමට සූදානම්වන බැවින්ය. බින් ලාදින් ඝාතනයෙන් පසු බොහොමයක් ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කරගත් අතර, එළඹෙන සැප්තැම්බර් මාසයේදී සියළුම ඇමරිකා හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කරගන්නා බවට ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත. ඒ ඇමරිකානු ප්‍රහාරයට වසර 20ක් පිරීම නිමිත්තෙන්ය.

බයිඩන් පවසන්නේ ඇෆ්ගනිස්ථානය තුල ආරක්ෂක අංශ රැඳවීම තුලින් තම රට අපේක්ෂාකලේ තවදුරටත් ඇමරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් වන මෙහෙයුම් නතර කිරීම බවත්, එම අරමුණ සාක්ෂාත් කරගෙන ඇති නිසා තවදුරටත් ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදාව රැඳවීම අවශ්‍ය නොවන බවය.

එසේ වුවද මේ වෙනවිට අල්කයිඩා සංවිධානය තවත් පුළුල්ව සිය ත්‍රස්තවාදී කටයුතු දියත්කරන අතර යේමනය තුල මෙන්ම අප්‍රිකානු රටවලද ඔවුන්ගේ ත්‍රස්ත ජාලය දැඩිව වර්ධනය වෙමින් පවතියි.

Post a Comment

0 Comments