Header Ads Widget

Responsive Advertisement

සැබෑ දශකයේ T20 ක්‍රීඩකයා “මාලිංග” විය යුතුයි..

 


පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පසුගිය දශකයේ (2010-2020) එක් එක් තරඟ රටාවල අග්‍රගන්‍ය ක්‍රීඩකයා නම් කිරීම සිදුකල අතර, එය අන්තර්ජාලය හරහා රසික මනාපය මගින් මෙන්ම විශේෂ ජූරියක මත විමසීම් අනුව නම් කිරීම සිදුවිය.

එහි ප්‍රතිඵලය අනුව දශකයේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ටීවන් ස්මිත්, දශකයේ එක්දින ක්‍රීඩකයා ලෙස ඉන්දියානු නායක විරාත් කෝලි ද, දශකයේ විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙස ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රශීඩ් ඛාන් ද නම් කෙරිණි.

ටෙස්ට් සහ එක්දින දශකයේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් එතරම් ප්‍රශ්නයක් නැතත් T20 දශකයේ ක්‍රීඩකයා ලෙස රශීඩ් ඛාන් නම්කලේ කෙසේ ද යන්න ගැටළුවක් තිබේ. සැබෑ ලෙසම ලොව T20 Icon එක බවට ලොවම හඳුනාගත් ලසිත් මාලිංග නැමති සුපිරි පන්දු යවන්නා අමතකකර අයි.සී.සී යට විස්සයි විස්ස දශකයේ ක්‍රීඩකයා නම් කළ හැකිද යන්න පැනයකි. එසේ නමුත් ප්‍රේක්ෂක මනාපය අනුව මේ නම් කිරීම කලානම් ඒ මනාපය මාලිංගට නැතිවුණේ ඇයි ද යන්න ද කල්පනා කල යුතුය.

රශිඩ් ඛාන් පන්දුවාර 20/20 පිටියට එන්නේ 2015 අවුරුද්දේය. මේ වනවිට විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 48 කදී රශීඩ් කඩුලු 89ක් ලබාගෙන ඇති අතර පන්දුවාරයක සාමාන්‍ය 6.1 කි. රශීඩ් ඛාන් විස්සයි විස්ස ප්‍රේක්ෂකයන් හඳුනාගන්නේ ඉතාම මෑතකදී වන අතර පසුගිය දශකයෙන් භාගයක්ම ඔහු විස්සයි විස්ස ක්‍රීඩා පිටියේ නොසිටියහ. රශීඩ් දක්ෂ පන්දු යවන්නෙක් බව සැකයක් නැත. එහෙත් මාලිංග එතැනදී පහසුවෙන් පසෙකලිය හැකිද?

ලසිත් මාලිංග විස්සයි විස්ස පිටියට පිවිසෙන්නේ 2006 වසරේදී ය.  දැනට විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 84 කදී කඩුලු 107ක් ලබාගෙන තිබෙන මාලිංග ගේ පන්දුවාරයක ලකුණු සාමාන්‍ය 7.4 කි. සමස්ත විස්සයි විස්ස පිටියේ කඩුළු අතරින් මාලිංග කඩුලු 390ක් ලබාගෙන ඇති අතර රශීඩ් තවමත් ලබාගෙන ඇත්තේ කඩුළු 335 ක් පමණි.

මේ සියලු සංඛ්‍යා දත්ත පැත්තකින් තබා විස්සයි විස්ස අතීතය දෙස බැලුවහොත් විශේෂයෙන්ම 2005-06 වකවානුවේ විස්සයි විස්ස ක්‍රීඩාව මාධ්‍ය විසින් වාර්තා කලේ ‘පන්දු යවන්නන්ගේ නපුරු සිහිනයක්’ ලෙසින් ය. එයට හේතුව පිතිකරුවන් අත දිගහැර පන්දු යවන්නන්ට බැට දෙන තරඟ රටාවක් ලෙස මුල් වකවානුවේ ක්‍රියාත්මකවීමත් සමගය.

එහෙත් එය වෙනස් වෙන්නේ මාලිංග නිසාය. පන්දු යවන්නන් අසරණ වුණු T20 පිටියේ මාලිංග පැරණි පන්දුවෙන් අවසන් පන්දුවාර කීපයේ සහ මුල් පන්දුවාර කීපයේ පිතිකරුවන් අන්ත අසරණ කරමින් සිය Reverse Swing පන්දුව සහ යෝකර් පන්දු යොමුකර පන්දු යවන්නන්ගේ අණසක ක්‍රියාත්මක කිරීම ඇරඹීමත් සමගය. විස්සයි විස්ස පිටියේ Death Overs යන සංකල්පය කල එළි බසින්නේත් ලසිත් මාලිංග නිසා බව නොරහසකි.

මාලිංග ලොව ප්‍රකට වූයේද විස්සයි විස්ස නිසාය, එසේම විස්සයි විස්ස ලොව පුරා ප්‍රකට වෙන්නට මාලිංග නැමති මේ අපූර්ව පන්දු යවන්නාද හේතුවූ බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුය. ඒ නිසා පසුගිය දශකයේ ලොව විස්සයි විස්ස පිටියේ ගමන් දිශාව වෙනස් කල ක්‍රීඩකයා දශකයේ විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙස නම් නොවීම අතිශයින්ම කණගාටුවට මෙන්ම විශ්මයට කරුණකි.

අයි.සී.සී යේ පරමාර්ථය දැඩි ලෙස යුද පීඩාවට පත්, නව ටෙස්ට් වරම් ලද රටක් වන ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා ඇගයීම වෙනුවෙන් රශීඩ් වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙස නම් කිරීම නම් එය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය සම්බන්ධයෙන් බරපතල ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමකි. විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය සංකේතය ලෙස සැලකෙන මාලිංග පන්දු 4 කදී කඩුළු 4 ක් ලබාගෙන පිතිකරුවන් අන්ද මන්ද කරමින් විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාව උත්කර්ෂයට නැංවීම අමතක කිරීමකි.

අයි.සී.සී යට ඒවා අමතක වූවද ලංකාවේ අපිට ඒවා අමතක නැත. ඒ නිසා නිසැක වශයෙන්ම ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට මෙන්ම සැබෑ ලෙස විස්සයි විස්ස ක්‍රීඩාවට ආදරය කරන සහ එය ගැන අවබෝධයක් ඇති ඕනෑම ප්‍රේක්ෂකයෙක්ට දශකයේ පමණක් නොව විස්සයි විස්ස ඉතිහාසයේම බිහිවූ අනගිතම ක්‍රීඩකයා ලසිත් මාලිංග ය.

Post a Comment

0 Comments