Header Ads Widget

Responsive Advertisement

සෙරීනාගේ Sexism චෝදනාවෙන් ටෙනිස් ලොව දෙදරයි..

 


ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ කාන්තා අවසන් මහා තරඟයේදී එහි ශූරතාවය අවස්ථා ගණනකදී හිමිකරගත් සෙරීනා විලියම්ස් තරඟයේ විනිසුරු සමග ඇතිකරගත් විවාදාත්මක තත්වයක් අවසානයේ ටෙනිස් පිටියේ කාන්තාවන්ට ලිංගිකත්වය පදනම් කරගෙන අසාධාරණකම් සිදුවෙන බව සෙරීනා පවසා ඇත.

ඊයේ (09) පැවති අවසන් මහා තරඟයේදී ඇමරිකාවේ 36 හැවිරිදි සෙරීනා සහ තවමත් වයස අවුරුදු 20ක් පමණ වන ජපානයේ නයෝමි ඔසාකා තරඟ වැදුණු අතර තරඟ වට 2-0 ක් ලෙස තරඟය පහසුවෙන් ජයගැනීමට ඔසාකා එහිදී සමත්විය.

තරඟයේ මුල් වටයේදී 6-2 ක් ලෙස ඔසාකා ජයගත් අතර එහිදී සෙරීනා විලියම්ස්ට අවවාද කරමින් දැනට ටෙනිස් පිටියේ සිටින අත්දැකීම් බහුලම විනිසුරුවරයෙක් වන කාලෝස් රැමෝස් කියා සිටියේ සෙරීනාගේ පුහුණුකරු පැට්‍රික් මොරටොග්ලූ විසින් ප්‍රේක්ෂකාගාරයේ සිට ඇයට විවිධ දේ සන්නිවේදනය කරමින් සහය දැක්වූ බවය. එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් සෙරීනා ඒ අවස්ථාවේ කාර්ලෝස්ට කියා සිටියේ තමන්ට වංචා කරමින් තරඟ ජයගැනීමට අවශ්‍ය නැති බවය.

කෙසේ වෙතත් දෙවන වටයේදී සෙරීනා විසින් එල්ල කර පහරක් වැරදීමේ ප්‍රතිඵලයක් ලෙස ආවේගයට පත් ඇය තමන්ගේ ටෙනිස් පිත්ත බිම ගසා විනාශ කිරීමෙන් සිදුකල ප්‍රකෝපකාරී හැසිරීම පදනම් කරගෙන විනිසුරු විසින් ඇයට අවවාද කර ඔසාකා වෙත ලකුණක් පිරිනමන ලදි.

මෙහිදී දැඩිලෙස ප්‍රකෝපයට පත් සෙරීනා විසින් දිගින් දිගටම විනිසුරු කාලෝස් වෙත සිය අප්‍රසාදය පළකරමින් බැණ වැදුණු අතර එහිදී ඇය කිසා සිටියේ විනිසුරුවරයා බොරුකාරයෙක් සහ හොරෙක් බවත් තමන්ගෙන් ලකුණක් ඔහු සොරකම් කර බවත්ය. ඒ නිසා ඔහු තමන්ගෙන් සමාව ගතයුතු බව සෙරීනා දිගින් දිගටම පිටිය තුලදී වාචිකව විනිසුරුවරයාට පරිභව කරමින් තරඟය පැවැත්වීම නතර කර තිබිණි.

එහිදී තරඟ තීරකවරුන් සහ සංවිධායකවරුන් මැදිහත්වූවද අවසානයේ විනිසුරුවරයා විසින් වාචික හිංසනය ඇතුලු චෝදනා කීපයක් පදනම් කරගෙන සෙරීනාට එරෙහිව ඔසාකාට පූර්ණ ලකුණක් ප්‍රධානය කිරීමට කටයුතු කෙරිනි. ඉන් අනතුරු එක් ලකුණක් ලබාගත් ඔසාකා තරඟය ජයග්‍රහණය කරන ලදි.

තරඟයෙන් පසුව සාම්ප්‍රදායිකව සිදුකරන විනිසුරුවරයාට අතට අතදීමද ප්‍රතික්ෂේපකල සෙරීනා පසුව මාධ්‍ය ඉදිරියේ කියා සිටියේ ටෙනිස් පිටියේ කාන්තාවන්ට ලිංගිකත්වය පදනම් කරගෙන දැඩි අසාධාරණයක් සිදුවන බවත්, පිරිමි ටෙනිස් ක්‍රීඩකයක් තම්නට රිසිදේ විනිසුරුවරුන්ට කියා සිටියද අඩුම තරමේ අවවාදයක් හෝ නොකරන බවයි. ඒ නිසා තමන්ගේ දියණිය ඇතුලු සියලුම කාන්තාවන්ගේ අයිතිය වෙනුවෙන් තමන් මින් ඉදිරියට පෙනී සිටින බවයි.

මෙම තරඟාවලියේදීම මින් පෙර තරඟයකදී ප්‍රංශ ජාතික ක්‍රීඩිකාවක් තරඟ පිටියේදී තමන්ගේ ඇඳුමේ උඩු කොටස ගලවා ක්‍රීඩා ඇඳුම සමගින් ක්‍රීඩා කිරීමට උත්සහ කිරීමේදී එයට විරුද්ධවද අවවාද කරමින් තරඟ මුදලින් දඩයක් නියම කිරීමටද කටයුතු කර තිබේ.

එසේම සෙරීනා විලියම්ස් 2009 ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයකදී සීමා ඉර පරික්ෂා කරන සහ විනිසුරුවරියකට බැණ වැදීම සහ තරඟයට සහභාගීවීම නතරකිරීම හේතුවෙන් දඬුවමකට ලක්විය. කෙසේ වෙතත් දරු ප්‍රසූතියෙන් පසු ටෙනිස් පිටියට නැවතත් පිවිසි සෙරීනා මේ වනවිට විම්බල්ඩන් අවසන් තරඟය සහ මෙම තරඟය සමගින් ප්‍රබල තරඟ කීපයකදීම යොවුන් ප්‍රතිවාදිනියන් හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ඇය සිටින්නේ දැඩි පීඩාකාරී තත්වයකය.

නමුත් තරඟයෙන් අනතුරුව ටෙනිස් ලොව ප්‍රබලයන් පණිවිඩ නිකුත් කරමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පක්ෂ සහ විපක්ෂ මත දක්වා සිටියි. බොහෝ දෙනෙක් ටෙනිස් පිටියේ කාන්තාවන්ට අසාධාරණයක් සිදුවෙන බව හුවා දැක්වීම හේතුවෙන් මේ වනවිට ටෙනිස් පිටිය තුල දැඩි ආන්දෝලනයට තුඩුදෙන මාතෘකාවක් බවට මෙය පත්ව ඇත. ලෝකයේම කාන්තාවන්ගේ සම අයිතිය පිළිබඳව උපදෙස් දෙන්නට කටයුතු කරන ඇමරිකාවේ ටෙනිස් පිටිය තුල පවා කාන්තාවන් හිංසනයට සහ හිමිකම් කඩවීමට ලක්වෙන බව පෙනීයාමෙන් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් දේශනාවේ නිරුවත ලොවට පෙන්වාදී ඇත.

Post a Comment

0 Comments