Header Ads Widget

Responsive Advertisement

ලැජ්ජා නොවී Mobile Phone Ethics ඉගෙනගමු

 


ජංගම දුරකතනය කියන එක අද වෙද්දි ලොකු කුඩා හැමදෙනෙක්ටම ඉතාම පොදු උපකරණයක් බවට පත්වෙලා. ලෝකයේ සන්නිවේදන තාක්ෂණය දියුණුවීම එක්ක ජංගම දුරකතනය කියන්නේ නැතිවම බැරි උපකරණයක් වී අවසන්. ඒ වගේම තමයි පරිගණකය භාවිතයෙන් කරපු බොහෝ දේවල් දැන් Smart Mobile Phones (සුහුරු ජංගම දුරකතන) භාවිතයන් කළ හැකි නිසා එවැනි ජංගම දුරකතනය අනිවාර්යය අංගයක් කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.

ඒත් ඔබ අනන්තවත් දැකලා අත්විඳලා ඇති බොහෝ දෙනෙක් ජංගම දුරකතන භාවිතා කලාට ඒවා භාවිතා කරද්දි අනුගමනය කළයුතු ආචාර ධර්ම (Ethics) ගැන අවබෝධයක් නෑ කියන එක. ඒ නිසාම අපි අද හිතුවා ඒ ගැන ඔබත් එක්ක ටිකක් කථා කරන්න ඕන කියලා.

ඇත්තටම ලෝකයේ ආචාර ධර්ම කියන සංකල්පය නිර්මාණය වෙලා තියෙන්නේ මිනිසාගේ ගුණාත්මක හැසිරීම වැඩිදියුණු කරමින් පරිපූර්ණ මිනිසෙක් බිහිකරන්නයි. ඒ නිසා හැම අතින්ම පරිපූර්ණ වෙන්නනම් ආචාර ධර්ම ගැන හොඳ අවබෝධයක් වගේම ඒවා තමන්ගේ භාවිතයේ තියෙන්නත් ඕන. අපි බලමු ජංගම දුරකතන භාවිතයේදී අනුගමනය කරන්න ඕන හොඳ පුරුදු මොනවද කියන එක.

වැදගත් වැඩ මැද්දේ

බොහෝ දෙනෙක්ට තියන නරක පුරුද්දක් තමයි බොහොම වැදගත් සාකච්ඡා, ඉතාම තීරණාත්මක හමුවීම්, කාලෙකින් හමුවෙන කෙනෙක් එක්ක කතා කරද්දි ජංගම දුරකතනය භාවිතා කරන එක. ඇතැම්විට කතාවට බාධා කරමින් අඩුම තරමේ සමාව ඉල්ලන්නේවත් නැතිව දුරකතන ඇමතුම් වලට පිළිතුරු දීම, කෙටි පණිවිඩ යැවීම සහ අන්තර්ජාලයේ සැරිසරන එක. මේක බොහොම නරක සහ ආචාරශීලී නොවන පුරුද්දක්. මොකද ඔබ කෙනෙක් එක්ක කතා කරද්දි ඔබේ පූර්ණ අවධානය අදාල අනිත් පාර්ශවය එක්ක තිබිය යුතුමයි. නැත්නම් ඒක සාකච්ඡාව අසාර්ථක වෙන්න තදින්ම බලපානවා. ඒ නිසා හොඳම දේ තමයි ඒ වගේ තීරණාත්මක සාකච්ඡා සහ හමුවීම් අතරේ එක්කෝ ජංගම දුරකතන නිහඬකර තිබන්න, නැත්නම් ජංගම දුරකතනය පසෙකින් තබන්න, අත්හරින්නම බැරි හදිසි ඇමතුමක් ලැබෙනවනම් විනාඩියකට සමාව අරගෙන ඒ ස්ථානයෙන් ටිකක් ඉවතට ගිහින් ඇමතුමට පිළිතුරු දීලා එන්න. ඒත් කිසිම විටක සාකච්ඡාවක් මැද අන්තර්ජාලය භාවිතය, කෙටි පණිවිඩ යැවීම වගේ දේවල් කරන්න යන්න එපා.

Loudspeakers on

තවත් ‍පිරිසක් ඉන්නවා ඕනෑම පොදු ස්ථානයක, ඕනෑම වැදගත් තැනක දුරකතන ඇමතුම්වලට පිළිතුරු දෙන්න දුරකතනයේ Speakers on කරනවා. එහෙම කරද්දි ඔබට එන දුරකතන ඇමතුම තවත් බොහෝ දෙනෙක්ට ඇහෙනවා කියන එක අමතක වෙනවා. ඒක එච්චර හොඳ පුරුද්දක් ‍නෙවෙයි. මොකද ඔබට එන දුරකතන ඇමතුම අතිශයින්ම පුද්ගලික එකක් නම් තත්ත්වය බරපතලයි. තවත් සමහරු දුරකතනයේ සාමාන්‍ය speaker එක ක්‍රියා නොකර අබලන් වුණාම මේ විදිහට Loudspeakers on කරනවා. අබලන් දුරකතන භාවිතා නොකර අලුත් එකකට මාරුවෙන එකත් හොඳයි වගේම මේ කියපු පුරුද්ද අතහරින එකත් ඉතාම වැදගත්.

Ring Tones

කාලයක් තිබුණා ලංකාවේ පවා ජංගම දුරකතනවල Ring Tones වලට ප්‍රසිද්ධ ගීත සහ සංගීත නාදයන් භාවිතා කරන එක. ඒත් පස්සෙ කාලෙක මේක විශාල වදයක් බවටත් පත්වුණා. සමහරවිට නිතර නිතර කාර්යාලවල, ප්‍රසිද්ධ තැන්වල ජංගම දුරකතන කීපවරක් නාදවෙද්දි මේ ඝෝෂාකාරී තත්ත්වයන් නිසා එය ගැටළුවක් වුණා. ඒ නිසා ඔබේ ජංගම දුරකතනයට කණට මිහිරි සහ පැහැදිලි ring tone එකක් යොදන්න, ඒ වගේම ප්‍රසිද්ධ සහ වැදගත් තැන්වලදි එය නිහඬකර තබන්න.

තහනම් තැන්!

ඔබේ ජංගම දුරකතනය ආගමික ස්ථාන තුලට, නිදන කාමරයට, පන්ති කාමර තුලට ගෙන නොයනවානම් වඩාත් හොඳයි. මොකද එයින් ඔබේ එදිනෙදා ජීවිතයට සිදුවන බාධා අඩුයි. ඒ වගේම තමයි දරුවන් එක්ක විනෝදයෙන් ගතකරද්දි සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහය දෙන වෙලාවට, පවුලේ අය එක්ක ආහාර ගන්නා වෙලාවට ජංගම දුරකතනය භාවිතා නොකරනවනම් වඩාත් හොඳයි.

වචන ගැන සැලකිලිමත් වන්න

සාමාන්‍යයෙන් ඇතැම්විට ඔබ දැකලා ඇති ප්‍රසිද්ධ ස්ථානවල, බස්රථ වල සමහරු දුරකතනයෙන් බොහොම හයියෙන් කතා කර කර යනවා. නැත්නම් කාටහරි බනිනවා. මේක බොහොම නරක පුරුද්දක් වගේම අනිත් අයට බාධාවක්. සමහරවිට මේ දුරකතන සංවාද ඉතා විශාල කාලයක් පුරා දිගට ඇදිලා යද්දි වටේ පිටේ ඉන්න අයට සෑහෙන්න කරදරයක් වෙනවා.

එබෙන්න එපා!

තව නරක පුරුද්දක් තමයි තමන් ජංගම දුරකතනය භාවිතා කරන ගමන් අනිත් අයගේ දුරකතන වලට එබෙන එක. ඒක එක පැත්තකින් පුද්ගලිකත්වයට බාධාවක් වගේම බොහොම අශීලාචාර පුරුද්දක්. ඒ නිසා ඒ වගේ දේවල් නොකර තමන්ගේ ඇස් තමන්ගේ දුරකතනයේ සීමාවේ විතරක් තියාගන්න එක වඩා හොඳයි.

මේ වගේ තවත් දුරකතන පාවිච්චි කරද්දි අනුගමනය කරන්න ඕන හොඳ පුරුදු එහෙමත් නැත්නම් ආචාර ධර්ම බොහොමයක් තිබෙනවා. ඔබටත් අත්දැකීම් තියනම් ඒ ගැන පහලින් අදහස් ලියලා යන්න පුළුවන්නම් කියවන හිතවතුන්ට සෑහෙන්න වැදගත් වේවි.

Post a Comment

0 Comments