Header Ads Widget

Responsive Advertisement

සීතල මීදුම මැදින් Horton Plains යමු!


පහුගිය කාලේ විනෝදාංශයක් විදිහට සංචාරය කරන වගේම ඉඳලා හිටලා හරි ට්‍රිප් එකක් යන අයට එච්චර හොඳ කාලයක් වුණේ නෑ. ඒත් ලැබුණු විරාමයක් අතරේ කාලයක ඉඳන් යන්න කැමැත්තෙන් හිටපු ලංකාවේ ඉතා සුන්දරම පරිසර පද්ධතියකට උරුමකම් කියන හෝර්ටන් තැන්න රක්ෂිතයට යන්න පුළුවන් වුණා.

තවමත් හෝර්ටන් තැන්නට යන්න බැරිවුණු සහ යන්න ආසාවෙන් ඉන්න අයට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි. ඒ  නිසා හෝටර්න් තැන්නට ට්‍රිප් එකක් යන්න සූදානම් කරගන්න කලින් අනිවාර්යයෙන්ම මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවලා ඉන්න.

තියෙන්නේ කොහේද?

ඇත්තටම හෝර්ටන් තැන්න පිහිටලා තියෙන්නේ ඉතාම සුවිශේෂී තැනක. එක් පැත්තකින් රත්නපුර දිස්ත්‍රික්කටය, තවත් පැත්තකින් නුවරඑළිය දිස්ත්‍රික්කයට සහ අනෙක් පැත්තෙත් බදුල්ල දිස්ත්‍රික්කයට යාවෙලා තමයි පිහිටලා තියෙන්නේ. හෝර්ටන් තැන්නට පිවිසෙන්න ප්‍රධාන පිවිසුම් ගේට්ටු දෙකක් තියනවා.

එකක් තමයි පට්ටිපොල පිවිසුම, අනිත් එක ඔහිය පිවිසුම. පට්ටිපොල පිවිසුම පිහිටලා තියෙන්නේ නුවරඑළිය නගරයේ ඉඳන් කිලෝමීටර් 26ක් දුරින්. නුවරඑළිය-බ්ලැක්පූල්-අඹේවෙල හරහා පට්ටිපොලට ඇවිත් පට්ටිපොල දුම්රිය ස්ථානය ලඟින් වම්පැත්තටි තියන මාර්ගයේ කිලෝමීටර් 4ක් විතර ආවම හෝර්ටන් තැන්න පට්ටිපොල පිවිසුම හමුවෙනවා.

ඔහිය පැත්තෙතන් එනවනම්, ඔහිය දුම්රිය ස්ථානය ලඟින් තියන මාර්ගයේ කිලෝමීටර් 11ක් දුර ආවම හෝර්ටන් තැන්න ඔහිය පිවිසුම හමුවෙනවා.

යන්න හොඳම වාහනේ?

හෝර්ටන් තැන්නට පිවිසෙන මාර්ග දෙකම කඳු සහිත පටු මාර්ග දෙකක්. ඒ වගේම වංගු සහ මාර්ගය අබලන් නිසා විශාල පිරිසක් ගමන් කරන බස් රථ වලින් නම් යන්න අමාරුයි. උපරිම 25-30 කට යන්න පුළුවන් ජර්නි බස් රථයකට නම් ටිකක් අමාරුවෙන් වුනත් හෝර්ටන් තැන්නට යන්න පුළුවන්. කාර්,වෑන් එහෙම යනවනම් රෝද ටිකක් උස වාහන වලින් විතරක් යනවනම් වාහනේට ටිකක් ගුණදායක වෙයි. බයික් වලින් එහෙම යනවනම් හොඳට කඳු අදින්න පුළුවන් ඒවා වෙන්න ඕන. අනිත් එක පයින් යන්න උනත් පුළුවන්, මොකද සතුන්ගෙන් එහෙම කරදරයක් නෑ.

ඇතුලට යන්නේ කොහොමද?

කලින් කියපු පට්ටිපො සහ ඔහිය පිවිසුම් දොරටු වලින් ටිකට් පත් මිලට ගන්න සිදුවෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් සඳහා ටිකට්පත රුපියල් 50ක් විතර තමයි වෙන්නේ. ඒත් වාහනයක් ඇතුල් කරනවනම් රුපියල් 300ක මුදලක් අය කරනවා. ඇතුල්වීමේ දොරටුවේ ඉදන් කිලෝමීටර් 5ක් විතර වාහනයෙන් උද්‍යානය ඇතුලට ගමන් කරන්න පුළුවන්. පස්සේ හෝර්ටන් තැන්න උද්‍යාන කාර්යාලයේ වාහන නැවතුමේ වාහනය නතර කරලා එතන ඉඳන් පාගමනින් තමයි යන්න සිද්ධවෙන්නේ.

අරගෙන යන්න ඕන මොනවද?

හොදින්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔබ ඇතුල්වන්නේ ලංකාවේ වටිනාම පරිසර කලාපයක් සහ අධි සංරක්ෂිත වනාන්තරයකට නිසා පොලිතින්,ප්ලාස්ටික්,ගිනිඅවි,ලයිටර්,රසායනික ද්‍රව්‍ය කිසිවක් ඇතුලට අරගෙන යන්න ලැබෙන්නේ නෑ. නිලධාරීන් ඉතාම හොඳින් පරික්ෂා කරලා තමයි ඇතුල් කරන්නේ.

ඇතුලේ පයින් ගමන් කරද්දි ආහාරයට ගන්න කෙටි ආහාරයක්, වතුර සහ අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය, වැසි ආවරණ ඇඳුම්, කුඩ වගේ දේවල් අරගෙන යන්න පුළුවන්.

පයින් යන ගමන කොහොමද?

හෝර්ටන් තැන්න වනෝද්‍යානය මැදින් පාගමනින් යන Nature Hike එක සුන්දරම අත්දැකීමක්. උද්‍යාන කාර්යාලයේ තියන අධ්‍යාපන මධ්‍යස්ථානය නරඹලා එතන ඉඳන් පාගමනින් යන්න සිදුවෙනවා. ගොඩක් වයසින් වැඩි සහ පයින් යන්න අමාරු අයට මේ ගමන ටිකක් අමාරුයි. ඒත් හිතුවොත් බැරි නෑ. මේ ගමන ආරම්භක දොරටුව ලඟින් දකුණු පැත්තට තියන මාර්ගය තමයි කිරිගල්පොත්ත තරණය කරන්න යන මාර්ගය. එතන ඉදන් කිරිගල්පොත්තට කිලෝමීටර් 7ක් දුරයි. එතනින් හැරෙන්නේ නැතිව කෙළින්ම යනවනම් පුංචි ලෝකාන්තය,ලෝකාන්තය,බේකර්ස් ඇල්ල නරඹලා එන්න පුළුවන් මාර්ගය කිලෝමීටර් 10ක් විතර දුරයි. දෙකම එකපාරට යන්න අමාරුයි වගේම එක දවසේ යන එකත් ටිකක් අමාරුයි.

අපි නම් ගියේ පුංචි ලෝකාන්තය, ලෝකාන්තය, බේකර්ස් ඇල්ල පාරේ. ආරම්භක ස්ථානයේ ඉඳන් පුංචි ලෝකාන්තයට කිලෝමීඨර් 3ක් විතර දුරයි, එතන ඉඳලා ලෝකාන්තයට කිලෝමීටර් 2ක් දුරයි, එතැනින් බේකර්ස් ඇල්ලට කිලෝමීටර් 3ක් දුරයි, එතැන් සිට සුන්දර මාර්ගයෙ නැවත පිවිසුමට කිලෝමීටර් 2ක් දුරයි. සාමාන්‍යයෙන් පැය 3-4 අතර කාලයක් මේ ගමනට ගතවෙනවා.

යන්න හොඳම මොන කාලෙද?

වහින කාලයට නම් යන්න සෑහෙන්න අමාරුයි. මොකද පයින් යන පාර මැදින් වතුර යනවා. දිය ඇලි මතුවෙනවා. ඒත් ඒකත් හොඳ අත්දැකීමක් වෙයි. අනිත් කාලයට සෑහෙන්න සීතලයි. මීදුම වැඩියි, හැබැයි මගදි සීතල නැතිවෙනවා. මැයි සිට ඔක්තෝම්බර් කාලය වෙනකල් හෝර්ටන් තැන්න ඉතාම සාමකාමීයි.

බලන්න පුළුවන් මොනවද?

වනෝද්‍යානය පුරාම රංචු වශයෙන් ජීවත්වෙන හෝර්ටන් තැන්නටම විශේෂ කඳුකර සම්බාර් කියන ගෝන වර්ගය දකින්න පුළුවන්. ඒ හැරුණම විවිධ කුරුල්ලෝ, සමනල්ලු, ශාක සහ මල් විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන්. Cloud Forest වර්ගයට අයත් වනාන්තරයක් නිසා ශාක ස්ථර ඉතාම හොඳින් දැකගන්න පුළුවන්. විවිධ ප්‍රමාණයේ දිය කඩිති සහ කලින් කියපු විශේෂ ස්ථාන බලන්නත් පුළුවන්.

ඊට අමතරව ඡායාරූප ගන්න පුළුවන් සුන්දර දර්ශන බොහොමයක් තියනවා. කලින් කියන්න අමතක වුණු දෙයක් තියනවා. ඒ තමයි වනෝද්‍යානය විවෘතව තියෙන්නේ උදේ 6 ඉඳන් සවස 6 වෙනකල් විතරයි. ඒ වගේම සවස 2න් පස්සේ ඇතුල්වෙන්න ඉඩ ලැබෙන්නේ නෑ. පාන්දරින්ම ගියොත් වඩාත් හොඳයි. තව දැනගන්න දේවල් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.

Post a Comment

0 Comments