Header Ads Widget

Responsive Advertisement

විවාහයට කළින් මේ ගැන සිතුවාද..?


ආදරය, ‌ගෞරවය සහ අවබෝධය අනුව ගොඩ නැගෙන විවාහයකට භෞතිකමය වශයෙන් සුදානම් වන්නේ යම්සේද ඊට මානසික වශයෙන්ද ඔබගේ සුදානම ඉතාමත් වැදගත්.  

විවාහයක් සිදුවන්නේ ප්‍රේම සබඳතාවක් මතද නැතිනම් යෝජිතව හෝ මේ කුමන ආකාරයෙන් සිදුවුවත් යුවළක් විවාහවීමට පෙර විවෘතව එකිනෙකාගේ අදහස් හුවමාරුව කළ යුතුමයි. මොකද විවාහයක් කියන්නේ පරිසරයන් දෙ‍කක ජීවත් වන දෙදෙනෙකු එක් පරිසරයක් තුලට හැඩ ගැහෙන එක.

එතැනදි විවිධ ගැටළු මතුවෙන්න පුළුවන්. ඇතැම් විට විවිධ නුරුස්සනකම් පවා එන්න පුළුවන්. එහෙත් වැදගත්ම දේ තමයි එකිනෙකා තුළ පවතින වෙනස්කම් හඳුනාගන්න එක. ඒ වගේම තිබෙන ගැටළු සාකච්ඡා කරන එක.  ආදරය පිරුණු විවාහ දිවියක් ගත කරන්න මෙන්න මේ දේවල් ඔබට ලොකු පිටුවහලක් වේවි.

අදහස් හුවමාරුව

විවාහවීමෙන් පසුව විවිධ වූ ගැටුම් රැසක් ඇතිවීමට පුළුවන්. එමනිසා  විවාහ වීමට පෙර වගේම පසුත් යුවළක් විවෘතව එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගැනීම ඉතා වැදගත්. තමා කැමති අකමැති දේ අනෙකා කැමති අකමැති දේ ආදී විවිධ මාතෘකා පිළිබඳව එකිනෙකාගේ අදහස් විවෘතව සාකච්ඡා කළයුතුයි.

උපදේශන සේවා

පල්ලිය තුළදිනම් යුවලක් විවාහ වීමට පෙර ඔවුන්ගේ යුවල ගෙන්වා ජිවිතය පිලිබඳ, පවුල් ජීවිතය පිලිබඳ මේ හැම දෙයක් පිළිබඳවම උපදේශන සේවා පවත්වනවා. හැබැයි පන්සල තවමත් ඒ තරම් දියුණු වෙලා නැහැ. ඒ නිසා යුවලකට පුළුවන් පිළිගත් උපදේශන ‍සේවා ස්ථානයකින් උපදේශන සේවාවක සහාය ලබා ගන්න.

විශ්වාසය හා වටිනාකම    

ඕනෑම කෙනෙක් කැමැතියි තමන්ව විශ්වාස කරනවානම්. ඒ වගේම වටිනාකමක් දෙනවානම්. මොකද විවාහය කියන්නෙම ආදරය මෙන්ම විශ්වාසය හා එකිනෙකාට ගරු කිරීම මත පදනම් වූවක්. විශේෂයෙන්ම විශ්වාසය කඩවීම හා ගෞරවයක් නැතිවීම බරපතල ගැටලු රැසකට හේතුවිය හැකියි. උදාහරණ ලෙස ඇතැම් සහකරුවන් තම සහකාරීය පිරිසක් ඉදිරියේ පහත්කර සලකනු ලැබේ නම් එවැනි අවස්ථාවක එකිනෙකා අතර ඇති අන්‍යොන්‍ය බැඳීම ඔවුන් අතර ඇති විශ්වාසයට එය දැඩි ගැටලුවක්.

ලිංගික ජිවිතය

විවාහය තුළ ලිංගික ජිවිතය යනු ඉතා වැදගත් අංගයක්. ඒ් අනුව විවාහයට පෙර අදාළ යුවළක්  වඩාත් නිවැරදි ලිංගික දැනුමක් ලබා තිබීමත් ඉතා වැදගත්.

පදිංචිය

විවාහ වීමට පෙර යම් යුවළක් විවාහයට පසුව ජිවත් වන ස්ථානය තීරණය කර තිබීම ඉතා වැදගත්. ඔවුන් තනිවම ජිවත් වනවාවද , මව්පියන් සමඟ ජිවත් වනවාද ආදි දේ මූලිකව සාකච්ඡා කර තිබීම වැදගත් වන්නේ. පවුල් දෙකේම එකඟතාවයෙන් ටික කාලයක හෝ වෙනම ස්ථානයක ජීවත් වීමට හැකිනම් එය වඩාත් වැදගත්. එතැනදි පුංචි පුංචි රන්ඩු සරුවල් වගේම හිතේ හැටියට ආදරේ කරන්නත් හිතේ කිසිම බාදාවක් ඇතිවන්නේ නැහැ.

ආවේගශීලී වීම

ඇතැම් යුවළ අතර එක් අයෙක් ආවේගශීලී වන අතර ප්‍රශ්න ඇති වන විට ඒවා විසඳා ගැනීමට එම ආවේගශීලිබව දැඩි බාධාවක්. ඒත් ඇතැම් අය තමාගේ සහකරුවා හෝ සහකාරීය ආවේගශීලී තරහා යනසුලු අයෙක් බව දැන දැනත් ඔවුන් විවාහයට පසුව එම චරිත ස්වාභාවයෙන් මිදේවී යන විශ්වාසය මත විවාහ වෙනවා. නමුත් විවාහයට පසුව එවැනි අයෙක්  සමඟ ගතකිරීම ඉතා අපහසු වනවා. පසුකාලීනව එය ගැටලු රාශියකට හේතුවක්  බවටද පත්වනු ලැබේ.

නීති පැනවීම

සමහර අවස්ථාවල සහකරුවා හෝ සහාකාරීය එකිනෙකාට, නීති එසේ නොමැති නම් විවිධ සීමාවන් පනවා ගනු ලබනවා. ( උදාහරණ ලෙස විවාහ වු පසුව රැකියාව අතහරින්න, යාළුවෝ ආශ්‍රය කරන්න එපා වැනි) නමුත් එවැනි දේ පවා විවාහයට පෙර සාකච්ඡා කර තිබීම ඉතා වැදගත්.

විවාහ වුවත් ඔබ ස්වාධීනයි

තම තමන්ට ආවේණික වු ලක්ෂණ විවාහ වූවත් ඔබටම අනන්‍යයි. එනම් ඔබ ස්වාධීනයි. ඒ නිසා ඔබ විවාහ වූවත් අනෙකාට අවශ්‍ය ලෙසට ජිවත්වීමට අනවශ්‍ය අතර ඒ් පිළිබඳව විවාහ වීමට ප්‍රථම සාකච්ඡා කර තිබීම ඉතා වැදගත්.

වැඩිහිටියන්ගේ මැදිහත්වීම් අනවශ්‍යයි

ඔබ අලුතින් පටන් ගන්නා පවුල් ඒකකයට ඔබගේ වැඩිහිටියන්ගේ අනවශ්‍ය මැදිමත්වීම්ද විවාහය තුළ ගැටලු රැසකට හේතුවක්. ඔවුන් මෙම අලුත් පවුල් ඒකකයේ තීරණ තීන්දුවලට මැදිහත් වන අතර විවාහපත් යුවළ තවමත් තමාගේ දරුවන් බවත් ඔවුන් තීරණ ගැනීමට තරම් පරිණත නොමැති බවත් වැඩිහිටියන් විසින් අනුමාන කර අනවශ්‍ය ලෙස මැදිහත්වීම බරපතල ගැටලුවක්. මෙවැනි කාරණා පිලිබඳ හීන් සීරුවට තම තමන්ගේ දෙමාපියන් සමග වේලස්සනින්ම කතා බහ කර තිබීමත් වැදගත්.

මූල්‍යමය වගකීම

විවාහය යනු දෙදෙනෙකු අතර පවතින බැඳීම නොකැඩී දීර්ඝ කාලීනව පවත්වාගෙනයාමක්. ඒ සඳහා ආදරය , විශ්වාසය මෙන්ම මූල්‍යමය පදනම ද ඉතා වැදගත්. එහිදී අදාළ යුවළ රැකියාවන්වල නිරත වනවා නම් විවාහයෙන් අනතුරුව පවුලේ වියදම් දැරීම පිළිබඳව කල්තබා සාකච්ඡා කර එකඟතාවකට පැමිණ තිබීම ඉතා වැදගත්.

Post a Comment

0 Comments