Header Ads Widget

Responsive Advertisement

ඡන්ද අයිතිය දිනාගත් ඓතිහාසික කාන්තා අරගලය


සැබෑ ලෙසම කාන්තාවන්ට ඡන්ද අයිතිය දිනාගැනීම උදෙසා වන අරගලය ආරම්භවන්නට ඇත්තේ 1848 දී විය යුතුය. එයට හේතුව එම වසරේ නිව්යෝර්ක් නුවරදී කාන්තා අයිතිය පිළිබඳ ලෝක සම්මුතිය උදෙසාවන සමුළුව පැවැත්වීම යි. එම සමුළුව කාන්තා අයිතීන් උදෙසා එකල ලෝකයේ පැවති පළමු ක්‍රියාකාරී සමුළුව නොවූවද, එම අවස්ථාවේ කාන්තාවට සර්වජන ඡන්ද අයිතිය දිනාගැනීමේ අරගලයේ පළමු වෙඩිමුරය තැබීමට කටයුතු සිදුකරන ලදි.

ඉන් පසුව එළඹි වසර 50 පුරාවටම කාන්තාවට ඡන්ද අයිතිය දිනාගැනීමේ අරගලය ඉතාමත් කාර්යක්ෂමව සහ සක්‍රීයව සිදුවුණු අතර, එයට ලොව පුරා කාන්තාවන් විශාල පිරිසකගේ දායකත්වය මෙන්ම ප්‍රබල පුරුෂ චරිත ගණනාවකගේද දායකත්වය හිමිවිය. එමගින් කාන්තාවගේ ඡන්ද අයිතියේ ඇති වැදගත්කම සහ ඇයගේ ඡන්දය පළකිරීමකින් තොරව සිදුවන නියෝජතියන් පත්කරගැනීම අත්තනෝමතික බව සමාජීය වශයෙන් දැන්වත් කරන ලදි.

සුසාන් බී.ඇන්තනී සහ එලිසබෙත් කේඩි යන ප්‍රකට කාන්තා සමාජ ක්‍රියාකාරිනියන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මකවූ මෙම අරගලය තුලදී කාන්තාවන්ට ඡන්ද බලය ඉල්ලා පෙත්සමක් අත්සන් කෙරුණු අතර, පසුව එය යෝජනාවක් ලෙස කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කරමින් කාන්තාවගේ ඡන්ද අයිතිය ලබාදෙන ලෙසට දැඩි බලපෑමක් එල්ලකරනු ලැබීය.

නව ශතවර්ෂය එළඹීමත් සමග ලොව පුරා කාන්තා හිමිකම් සඳහාවන යෝජනා ගණනාවක් ව්‍යවස්ථාවන්ට එක්වී සම්මතවූ නමුත් ඡන්ද බලය හා බැඳුණු අරගලයට කොළ එළියක් නොදැල්විණි. ඇතැම් දේශපාලන චරිත දැඩිසේ මෙම යෝජනාවට විරුද්ධත්වය දැක්වූහ. නමුත් මෙම අරගලය එම ශතවර්ශය තුල ලෝකය පුරා ප්‍රබල ඡනතා අරගලයක් බවට පත්වෙමින් තිබිණි.

ඇමරිකානු ජාතික කාන්තා ඡන්ද හිමිකම පිළිබඳ සංගමය සහ ජාතික කාන්තා පක්ෂය සිය සංවිධානවල ප්‍රධාන තේමා පාඨය බවට  සර්වජන ඡන්ද බලය පදනම් කරගත් අරගලය පත්කරගැනීම සහ ඒවා සිය ව්‍යවස්ථාවේ මූලික පරමාර්ථ ලෙසින් පවත්වාගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අරගලය ඉතා වේගයෙන් ඉදිරියට ඇදී එන්නට සමත්විය. අවසානයේ මෙම සංවිධාන එක්ව ඇමරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම දක්වා උග්‍ර රැඩිකල් මාවතකට ඔවුන් අවතීරණ විය.

ඇමරිකාවේ මෙන්ම ලොව පුරා කාන්තා නැගිසිටීම්වල ප්‍රතිඵලයක් ලෙස 1920 වර්ෂයේ ඇමරිකාව තුල කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබාදීම උදෙසා නීතිමය ප්‍රතිපාදන සකස්කරනු ලැබ සම්මත කිරීම සිදුවිය. එය දීර්ඝකාලීන ඡන්ද බලය පිළිබඳ අරගලයේ ප්‍රථම ජයග්‍රහණය බවට අභිමානවත් ලෙස පත්විය. එසේම එය ලෝක ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද බලය පිළිබඳ ඉතිහාසයේ ප්‍රථම දිගුව බවටද පත්විය. ඉතා සාමකාමී සහ මතවාදී අරගලය ප්‍රතිඵලයක් ලෙස ලබාතම් මෙම ජයග්‍රහණයෙන් පසුව බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපානු රටවල් ගණනාවක් සහ ආසියාතික රටවල් බොහොමයක්ද කාන්තාවන්ට සර්වජන ඡන්ද බලය ලබාදීම සඳහා කටයුතු කරන ලදි. ඒවා වනාහි දීර්ඝ කාලීන අරගලයක ජයග්‍රහණයන් මිස ඉබේ පහලවූ වරප්‍රසාද නොවීය.

 

 


Post a Comment

0 Comments