Header Ads Widget

Responsive Advertisement

බෝඩ්වලට බියවීම හෙවත් 'බිල්බෝඩ් භීතිකාව'


එක්සත් ජනපදයේ මිසොරී පළාතේ එබින් කියන කල්පිත ගම්මානයේ මිල්ඩ්රෙඩ් හේස් නම් කාන්තාව තමන්ගේ යොවුන් දියණිය දූෂණය කර මරා දැමූවන්ට සහ එයට වක්‍රාකාරව අනුබල දුන් ප්‍රදේශයේ පොලීසියට එරෙහිව එබින්වලට පිවිසෙන මාර්ගය ආසන්නයේ විශාල දැන්වීම් පුවරු තුනක විරෝධතා වැකි පලකරනවා. මේ දැන්වීම්වලින් සෘජුවම ප්‍රශ්න කරන්නේ මියයමින් සිටියදී දූෂණය කල, එහෙත් තවමත් සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ ඇයිද යන්නයි.

ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ප්‍රධානියා ඉලක්ක කරගෙන පලවෙන මේ විශාල ප්‍රමාණයේ දැන්වීම් නිසා එබින් පමණක් නොව මුළු මහත් එක්සත් ජනපදයේම මාධ්‍යවල මේ පුවත පලවීම එක්ක ඇතිවෙන සමාජයීය ගැටුම සහ එක්තරා නිර්භීත මවකගේ නිහඬ සංග්‍රාමය ගෙනහැරපාන Three Billboards Outside Ebbing, Missouri චිත්‍රපටය මාර්ටින් මැක්ඩොනා ගේ නිර්මාණයක්. මෙය 75 වැනි Golden Globe සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුලු සම්මාන ත්‍රිත්වයක් මෙන්ම 71 වැනි British Academy Films Awards හි සහ ඔස්කාර් සම්මාන උළෙල සඳහාද සම්මාන ගණනාවක් වෙනුවෙන් නිර්දේශවුණු චිත්‍රපටයක්.

මේ චිත්‍රපටයේ කතා පුවත් සම්බන්ධයෙන් විවිධ විවේචන විචාර ඇතිවුවද, හුදෙක්ම මෙය මහා බලවතුන් දණගස්සන කුඩා මිනිසුන්ගේ සංග්‍රාමයක කතා පුවතක් ලෙස හඳුන්වාදෙමින් එය ඇගයීමට බොහොමයක් විචාරකයින් කටයුතු කලා. විශේෂයෙන්ම මිනිසුන්ගේ නිහඬ අරගලවලට බියෙන් සලිතව සැලෙමින්, එකී විරෝධාකල්ප දක්වන්නන් නොමරා මරණ තැන සිට මරා සඟවන තැන දක්වාම දිවෙන අධම අධීපතිවාදීන්ගේ චින්තනයට මරු පහරක් එල්ලකරන චිත්‍රපටයක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

විශිෂ්ට මට්ටමේ තිර රචනයකින් සහ සමස්තයක් ලෙස චිත්‍රපටය පුරාම මිනිසුන්ගේ ආවේග, සංවේදී තැන් සහ වේදනාවන් ඉතා අගනා ආකාරයට මතුකර පෙන්වන මෙම චිත්‍රපටය සමාජයේ අසාධාරණයට එරෙහිව දෑත් ඔසවන සෑම කෙනෙක්ම පාහේ අගය කරන චිත්‍රපටයක් වනු නොඅනුමානය.

Post a Comment

0 Comments