Header Ads Widget

Responsive Advertisement

අලුත් අවුරුද්ද හා බැඳුණු ක්‍රීඩා සංස්කෘතිය


අද ක්‍රීඩාව තාක්ෂණය සමග මුසුවී වෙනස්ම මානයන් සොයායන තැනට පත්ව ඇත. නමුත් එහි මූලාරම්භයන් දෙස විමර්ශනාත්මකව අවධානය යොමුකලහොත් පැරණි ජන සමාජයේ පැවති ක්‍රීඩා රටාවන් හා සූක්ෂම සබඳතාවක් ඇති බවද සොයාගත හැකිය.

එහෙයින් අතීතයේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා බැඳුණු නව අවුරුදු සමයේ ජනමූල කෙලි සෙල්ලම් පිළිබඳ සොයාබැලීම හැමදාටත් වඩා අද වටිනාබව සත්‍යය ය. එනිසාවෙන් ඒ අතීතයේ අලුත් අවුරුද්ද හා බැඳුණු ක්‍රීඩා සංස්කෘතිය ගැන මෙලෙසින් පිය නැගිය හැකිය.

අපේ ජන ක්‍රීඩාවන් පිළිබඳ ඉතිහාසය විමර්ශනය කිරීමේදී පැහැදිළිව පෙන්නුම් කෙරෙන කරුණක්‌ වන්නේ පත්තිනි දේව මෑණියන්ගේ ඇදහීම් සංකල්ප මුල්කොට ගනිමින් බොහෝ ජන ක්‍රීඩාවන් සෑදී ඇති අතර රණකාමීත්වය ජවසම්පන්න බව එඩිතර බව, දරා ගැනීම, විනෝදාස්‌වාදය ආදී සංකල්ප හරහා නවතාවන්ට බඳුන් වෙමින් වෙනස්‌කම් සිදුවෙමින් නොයෙක්‌ නොයෙක්‌ ජන ක්‍රීඩාවන් ලෙස සමාජයට දායාද වූ බව පැහැදිළිව දැකිය හැකිය. මහනුවර යුගයේ ජනප්‍රියව පැවති බොහෝ ක්‍රීඩා රණකාමී ක්‍රීඩා වූ බවත්, විදේශ ආක්‍රමණයන්ට එරෙහිව ජනතාව සූදානම් කිරීමටත්, යුද්ධයට ඇති බිය නැති කිරීමටත්, මෙම ජන ක්‍රීඩා උපයෝගී කරගත් බවත් ඉතිහාසයේ දැක්‌වේ.

අං කෙළිය

එන වලියට හෝයියා- යන වලියට හෝයියා

අනංගයෝ හෝයියා - මල් මදයෝ හෝයියා

මල් මාමා හෝයියා - ගිනි ජාලා හෝයියා

පාලඟයෝ හෝයියා  - පත්තිනියෝ හෝයියා

අපි දිනුවයි හෝයියා -  දිනුම් පිලට හෝයියා

සොලි වංශයේ මායාගේ රජුගේ පුතනුවන්වූ වූ පාලඟ කුමරු පත්තිනි දේවිය සමග විවාහ විය. දිනක් උයන් කෙලියේ යෙදුණු ඔවුන්හට සපුමල් සුවඳක්‌ දැනෙන්නට විය. අවාරයේ දැනෙන සපුමල් සුවඳ ඔස්‌සේ ගිය ඔවුන් මල් පිපී තිබුණ ඉසව්ව සොයා ගන්නා ලදී. බිම සිට කඩන්නට බැරි ඉසව්වක තිබුණ මල් කඩන්නට කෙකි දෙකක්‌ කපා ගත් අතර එකක්‌ පත්තිනි දේවිය සමග සටි පිරිසද අනෙක්‌ කෙක්‌ක කුමරුන් සමග සිටි පිරිසද අතරට ලැබුණි. කෙකි දෙක පැටලී අවසානයේදී පිරිමින් අතර වූ කෙක්‌ක බිඳී ගියෙන් මෙම සිද්ධිය සිහිපත් කරන්නට අංකෙළිය බිහි වූ බව ජනප්‍රවාදයේ සඳහන්ය.

පංච කෙළිය

ඉන්දියාවේ සිට පැමිණි මෙම ක්‍රීඩාව සමඟ වූ ජනප්‍රවාදයට අනුව ගජබා රජතුමා සොළී රටට පැහැර ගෙන ගිය සිංහල සේනාවට පොළිය ලෙස සොළී රටෙන් දොළොස්‌ දහසක්‌ සෙනග රැගෙන එන ලදී. මෙම ගමනේදී පත්තිනි දේවියගේ සළඹද රැගෙන එන ලදී. මේ සමගම පංච කෙළිය වැනි ක්‍රීඩාවන්ද මෙරටට සම්ප්‍රාප්ත වන්නට ඇතැයි අපේක්‌ෂා කෙරේ. සිංහල අලුත් අවුරුදු කාලයට කලඑළි දකින මෙම ක්‍රීඩාවට සම්බන්ධ වීමෙන් පත්තිනි දේවියගේ ආශිර්වාදය තමන් වෙතට ලැබෙනු ඇතැයි අපේක්‌ෂා කරයි.

දෙදෙනෙකුට හෝ කණ්‌ඩායම් දෙකකට ක්‍රීඩා කළ හැක. ක්‍රීඩකයන් ගණන ඉරට්‌ටේ සංඛ්‍යාවක්‌ වීම අනිවාර්ය වේ. ඔත්තේ ගණනක්‌ සිටින විට හුංගෙක්‌ පත්කර ගනු ලබයි. කණ්‌ඩායම් දෙකක්‌ ක්‍රීඩා කරන විට දෙපිලට නායකයන් දෙදෙනෙක්‌ පත් කර ගනු ලබයි. පංච ලෑල්ලේ ක්‍රීඩාවට පිවිසීමට පංචයක්‌ හෙවත් ඔණ්‌ඩුවක්‌ ලැබිය යුතුය. ඔණ්‌ඩුව යනු බෙල්ලන් එකෙක්‌ පමණක්‌ උඩුකුරුව සිටීමයි. සියල්ලම උඩුකුරුව පෙරළීම සිරිමල ලෙස හැඳින්වෙන අතර ඔහුට කිසිම අය ගණනක්‌ නොලැබේ. පංච පෙතේ අවසාන කොටුව ජලය නමින් හඳුන්වයි. ජලයෙන් ඉත්තන් ගොඩවන්නට නම් ඔණ්‌ඩුවක්‌ ලැබිය යුතුය. මුලින්ම ඉත්තන් එගොඩ කරන පිලට ජයග්‍රහණය ලැබේ.

ඔළිඳ කෙළිය

ගණිත ක්‍රමයකට අනුව සිදුවෙන මෙම ගෘහස්‌ථ ක්‍රීඩවට කාන්තාවන් දෙදෙනෙක්‌ සහභාගි වන අතර ක්‍රීඩාව ආරම්භයේ සිට අවසානය දක්‌වාම අත්වැල් ගායනය සිදු වේ. ඔළිඳ උපතේ සිට ඹළිඳ ක්‍රීඩාව ජයගන්නට අවශ්‍ය උපක්‍රම ගායනයෙන් කියෑවෙයි.

ඔළිඳ පුවරුව යනු සකස්‌ කර ගත් ලෑල්ලකි. එය අඟල් 10 සිට 14 අතර දිග අඟල් 6 සිට 8 අතර පළල ලෑල්ලකි. එක පැත්තක 7 බැගින් දෙපැත්තේ වළල් දෙපේළියකි. පේළි අතර පුවරුව දෙකොන 2 ඞ 2 බැගින් වළවල් දෙකකි. ඔළිඳ පුවරුවට මුතු පුවරුව යන නමද ඔළිඳ කොළොම්බුව යන නමද භාවිත කරයි. මේ වෙනුවෙන් වටිනා දැව යොදා ගනී. ඔළිඳ උපත සිදුව ඇත්තේ බංගලි දේශයේ බව මෙම ක්‍රීඩාව කරන විට ගයනා ගීත වලින් පැහැදිලි වේ.

චක්‌ගුඩු පැනීම

අස්‌වැන්න නෙළා ගත් වෙල් යායක්‌ හෝ වැව් තාවුල්ලක්‌ වැනි හිස්‌ ඉඩ කඩක චක්‌ගුඩු පැනීම සිදු වේ. ක්‍රීඩා භූමියේ සීමා දෙකක්‌ ලකුණු කරගනු ලැබේ. මෙම භූමිය හරි මැදින් කොටස්‌ දෙකකට බෙදා නායකයන් දෙදෙනෙක්‌ තෝරා ගනී. කාසියක්‌ උඩ දමා මුලින්ම ක්‍රීඩා කරන පිරිස හඳුනාගනී. එක්‌ පිලක ක්‍රීඩකයෝ චක්‌ගුඩු ගුඩු රෑ කියමින් අනෙක්‌ පිලේ සීමාවට ගොස්‌ ක්‍රීඩකයන්ට පහර දී තමන්ගේ සීමාවට දුව ගෙන එති. පහර කෑ ක්‍රීඩකයා මෙන්ම පහර දී ගුඩු ගුඩු කීම නැවතූ ක්‍රීඩකයාද පරාජයට පත් වේ. ගුඩු කියන්නා ගුඩිඩා ලෙස හැඳින්වේ. ගොළු ගුඩු පැනීමේදී ගුඩිඩා කථා නොකරන අතර කතා කළොත් ඔහු පරාජයට පත් වේ. කබඩි ක්‍රීඩාවට මුල්වූවා සේ විශ්වාස කෙරෙන්නේද මෙම ක්‍රීඩාවය.

පොර පොල් ගැසීම

පත්තිනි දේවිය සහ පාලඟ කුමරු සම්බන්ධව ගොඩනැඟ ඇති මෙම ක්‍රීඩාවේදී වැස්‌ස සහ සශ්‍රිකත්වය බලාපොරොත්තු වේ. උණ රෝග , ගව සහ කුකුළු වසංගත නියඟය වැනි අවස්‌ථාවන්ගෙන් සහනය අපේක්‌ෂා කළේ පොර පොල් ක්‍රිඩාවෙන්ය. අතීතයේදී පොර පොල් ක්‍රීඩාවට යොදා ගත්තේ ගසෙන් ඉබේ වේලි වැටෙන තැඹිලි පොල්ය. අතීතයේදී පොරපොල් ක්‍රීඩාවට යොදාගන්නා භූමියට දෙවියන් අරක්‌ ගෙන ඇතැයි විශ්වාස කළ නිසා තෝරා ගත් තැනිතලා භූමියේ බෝ , නුග , හෝ නා ගසක්‌ තිබුණි. ක්‍රිඩාවට භාවිතා කරන ලද පොල් යවන පොල් සහ ගහන පොල් ලෙස කොටස්‌ දෙකකි. යවන පොල් අතර සමහරක්‌ පොල් බිඳින්නට ඉතා අපහසු ඇට පුහු පොල් ලෙස හඳුන්වන ලදී. ගැසීමට යොදා ගන්නා ගෙඩිය අත් ගෙඩිය ලෙස හඳුන්වයි. නිපොල් ලෙස හඳුන්වන සාමාන්‍ය පොල් ක්‍රීඩාවට යොදා නොගනී.

අප සඳහන්කලේ එවැනි ක්‍රීඩා අංග කීපයක් පමණක් වන අතර ඇතැම් ක්‍රීඩාවන් මූලාශ්‍රයන්ද සමගින් අද වනවිට ජන සමාජයේ මතකයෙන් ඈත්වේ. ක්‍රීඩා අමාත්‍යංශයේ සංස්කෘතික ඒකකය හෝ මැදිහත්වී මෙම ක්‍රීඩාවන් පිළිබඳ සංරක්ෂණ ක්‍රමවේදයක් සිදුකරනවානම් එය ඉතාමත් වටිනා කටයුත්තකි. පුවත්පතක් ලෙස අපි අපේ උපරිමයද කරනා අතර එම ඉල්ලීමද සිදුකල යුතුමය.

මූලාශ්‍ර - අන්තර්ජාලය සහ ජනමූල ක්‍රීඩා අත්පොත

Post a Comment

0 Comments