Header Ads Widget

Responsive Advertisement

දැක්කම නවතින්න හිතෙන ලෝකයේ ලස්සනම ගම “ෂිරකාවා-ගෝ”


ෂිරකාවා-ගෝ සහ ගොකයාමා කියන ගම් දෙක ලෝක ප්‍රසිද්ධ වෙන්නේ 1995 අවුරුද්දෙදි යුනෙස්කෝ ලෝක උරුමයක් බවට මේ ගම් දෙක පත්කිරීමත් එක්කයි. ෂොගාවා ගංඟාව ආසන්නයේ විශාල කඳු පන්තියකට මායිම් වෙලා පිහිටි මේ සුන්දර ගම ජපානයේ වගේම ලෝකයේම ලස්සන ගම කියලා කිව්වට කිසි වරදක් නෑ.

අද වෙද්දි ලෝකය පුරා සංචාරකයින් මිලියන ගණනක් වසර පුරාම මේ ලස්සන ගම බලන්න එනවා. ඒ ආකර්ශණයට ප්‍රධානම හේතුව වෙන්නේ ෂිරකාවා-ගෝ ගමේ ඉපැරණි සුන්දරත්වය සහ ලොව පුදුමකරවන gassho-zukuri නමින් හඳුන්වන farmhouse විශාල සංඛ්‍යාවක් මේ ගමේ ඉදිකර තිබීමයි. ඒවායින් සමහරක් නිවාස අවුරුදු 250 කට වඩා පැරණියි.

මෙම නිවාස සාදා ඇත්තේ ලීයෙන්. ඒ වගේම ඒවායේ විශාල උසැති පියස්ස හරියටම බෞද්ධ භික්ෂුවක් අත්දෙක එක්කර වන්දනා කරනවා වැනි ඉරියව්වක් පෙන්වනවා කියලයි ඔවුන්ගේ විශ්වාසය. ශීත කාලයට මේ ගමට දැඩි හිම පතනයක් සිදුවෙන් නිසා මේ නිවාසවල වහල ඉතා ඝන ලීයෙන් සකස් කරලා තිබෙන්නේ ඇණ භාවිතයෙන් තොරවයි. ඒ වගේම තමයි වහලේ උළු වෙනුවට ගොයම් වැනි තෘණ වර්ගයක් භාවිතා කර කාලයක් තිස්සේ එක මත එක ඇතිරූ තට්ටු නිසා වසර සිය ගණනක් තිස්සේ මේ වහලේ ඝනකම අඩි කීපයක් දක්වා විශාල වෙලා. ඒ නිසා ඇතුලට සීතල නොදැනෙන බව නම් සහතිකයි.

ජපානයේ සංචාරය කරන කෙනෙක්ට ටකයාමා සහ කනසාවා නගර අතරේ සංචාරය කරද්දි පහසුවෙන්ම මේ ෂිරකාවා-ගෝ ගම සොයාගන්නට පුළුවන්. පැය කීපයක් අරගෙන මේ ගම පුරා පයින් ඇවිදලා රාත්‍රී කාලයේ මේ පැරණි නිවසක ගතකරන එකත් ජීවිතේ සුවිශේෂීම අත්දැකීමක් වෙයි. මොකද එහෙම ගතකරද්දි සාම්ප්‍රදායික ජපන් ඇඳුමින් සැරසිලා, ජපන් ආහාර වේලක් ජපන් ක්‍රමයටම ගන්න එක අමුතුම අත්දැකීමක්.

මේ ගම සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ආකාරයට සකස් කරලා තිබෙන ගමක්. විදුලිය අද වෙද්දි ගමට තිබුණට සියලුම විදුලි සහ දුරකතන රැහැන් වලින් පරිසරයට බාධාවක් නොවෙන විදිහට සකස් කරලා තිබෙනවා. ඒ වගේම ස්වාභාවික උල්පත් ජලය පානය කරන ජනතාව ඒ ජලය අපතේ නොයන ආකාරයට ඉතා සූක්ෂම සහ සුපිරිසිදු කාණු පද්ධතියක් හරහා ඒවා වගා බිම්වලට මෙන්ම පාරේ දෙපැත්තේ වැවෙන මල්ගස් වලට පවා ජලය ලැබෙන විදිහට සකස් කර තිබෙනවා.

බොහොම මිත්‍රශීලී ජනතාවක් ජීවත්වෙන මේ ගමේ ගෙවල් එකකට එකක් වෙනස්. ඒ වගේම සාම්ප්‍රදායික කඩ සාප්පු වල ඇවිදලා ජපන් බඩු මිලට ගන්න, මතක සටහන් මිලට ගන්න ඕනෑතරම් මෙහිදී අවස්ථාව තිබෙනවා. ඒ වගේම ෂිරකාවා-ගෝ බෞද්ධ විහාරයත් ගම වගේම සුන්දර තැනක්. ලීයෙන් නිමකරලා තිබෙන මෙහි ඉපැරණි බෞද්ධ භාණ්ඩ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

මේ ගමේ ඇති ඉපැරණි ගෘහනිර්මාණ ශිල්පය, පාරිසරික සෞන්දර්යය, පරිසර හිතකාමීබව  නිසාම මෙය ලෝක උරුමයක් ලෙස නම්කර ආරක්ෂා කිරීමට කටයුතු කර තිබීම ඉතාම වටිනවා. ඒ වගේම සංචාරකයන්ට පවා ලබාදෙන උපදෙස තමයි හැකි තරම් විනීතව සහ පොලිතින් ප්ලාස්ටික් භාවිතයකින් තොරව මේ සුන්දර ගම්මානයේ සංචාරය කරන ලෙසයි.



Post a Comment

0 Comments