Header Ads Widget

Responsive Advertisement

දෙවියන්ද මුනිවත රකින පාස්කු ප්‍රහාරයට වසර දෙකයි!


ජාතිය ආගම මුල් කර ගත් මුග්ධයන්ගේ මිලේච්ඡ ක්‍රියාවන් ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටද අලුත් අත්දැකීමක් නොවේ. සැබෑ ලෙසම එය ‘අත්දැකීම’ යන වචනය අපහාසයකට ලක්කිරීමකින් තොරව ‘පිළිලයක්’ ලෙස හැඳින්වූවාට වරදක් නැත. ලං‍කාවේ දේශපාලකයින් බහුතරයක්ද තම බලය පවත්වාගැනීම සඳහා එකී මුග්ධයින් වටින් විට පෝෂණය කරන බව අමුතුවෙන් කිවයුතු නැත.

2019 අප්‍රේල් 21 වැනිදා කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් සහ කොච්චිකඩේ, කටුවාපිටිය සහ මඩකලපුව සියොන් යන දේවස්ථාන ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල විණි. මේ ප්‍රහාර විසින් නැවත අවදිකරනු ලැබුවේ වසර ගණනාවක් තිස්සේ නිහඬව පැවති මරබිය සහ ලේ පිපාසිත ඝාතකයින්ගේ බැල්මය.

පාස්කු ඉරුදින හෙවත්  (Easter Sunday)  කිතුනුවන්ගේ වැදගත්ම අවස්ථාවක් වන යේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය සැමරීමට  දේවස්ථාන වෙත ගිය කිතුණු බැතිමතුන් හීනෙකින්වත් නොසිතූ ලෙස පෙරකී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ ගොදුරු බවට පත්විය. එම ප්‍රහාර නිසා 250කට අධික මිනිස් ජීවිත කෑළි කෑලි වලට පිපිරී ගිය අතර ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 500කට අධිකය. අදටත් පාස්කු දිනය නොව පල්ලියේ ගීතිකාවට පවා බියෙන් තැතිගැන්වෙන කම්පනයට පත්වූ දහස් ගණනක් මෙරට පළාත් ගණනාවක මැරි මැරී ජීවත්වන තැනට මෙකී ප්‍රහාරය ඇතිකල විනාශය අතිමහත් ය.

ඉලක්කය මොක උනත් ඊට කිසිම සම්බන්ධයක් නැති පිරිමි ගැහැණු මේ බෝම්බ වලට බිලි විය.  බිරින්දෑ වරුන්ට සැමියන්, සැමියන්ට බිරින්දෑවරුන් ඔවුන්ට තම දුවා දරුවන් ඥාති හිතමිත්‍රදීන් අහිමි වූ අතර ජීවත්වන මිනිස් ජීවිත අපිත් මරුණනම් ඉවරයි කියන තරමටම කායිකව හා මානසිකව පූර්ණ කාලීන ආබාදිතයින් වී ඇත. 

හොරු අල්ලනවායැයි කියමින් යහපාලන ආන්ඩුව බලයට පත් වූවා මෙන් වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ පාස්කු ප්‍රහාරය ඉදිරියෙන් තියාගෙනය. එහෙත් මෙකී මිලේච්ඡ ප්‍රහාරය දියත් කළේ කවුරුන්ද හෝ කාගේ උවමනාවටද යන්න තවමත් හෙළිදරව් වී නොමැත. මේවනවිට පාස්කු ප්‍රහාරය උදෙසා පත්කළ කොමිසමේ අවසන් වාර්තාවද එළි දක්වා ඇත. ඊට අනුව ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම පිලිබඳ වගකිව යුත්තන්ට චෝදනා එල්ල කර ඇතත් මෙහි මහමොළකරු පිලිබඳ හරියාකාරව හෙළිදරව් කරගෙන තිබේද යන්න ගැටලුවකි.

අවම වශයෙන් විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ සැකකාරියක ලෙස නම්කොට ඇත කටුවාපිටිය ‍බෝම්බකරු  මොහොම්මදු හස්තුන් බිරිඳ ලෙස සැළකෙන මේ වනවිට ඉන්දියාවට පැනගොස් ඇතැයි පැවසනෙ පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් මෙරටට ගෙන්වා ගැනීමට හෝ වත්මන් ආණ්ඩුවට සැළැස්මක් තිබෙනවාද යන්න ගැටළුවකි.

ලියනවානම් තවත් බොහෝ දේ තිබේ.

අවසාන වශයෙන් මෙසේ ලියා තැබිය යුතුය මේ රටේ මුස්ලිම අන්තවාදයක් තිබේ. එය සැබෑය. එමෙන්ම සිංහල බෞද්ධ අන්තවාදයකුත් තිබේ. එයත් සැබෑය. එය විවිධ අයුරින් පෝෂණය කරමින් දේශපාලන වාසි ලබා ගන්නා මජර දේශපාලන ක්‍රමයක් අප ඉදිරියේ ඇත.  ඒ නිසාම කුඩු පට්ටම් වූ මිනිස් ජීවිත වලට යුක්තිය පිසිඳලන්නේ කවුරුන්ද කවදාද?

 

Post a Comment

0 Comments