Header Ads Widget

Responsive Advertisement

රෙද්ද නිසා ‘ඉරෙන’ අපේ සංස්කෘතිය..

 

අද, ඊයේ සහ දවස් කීපයක සිට ලංකාවේ සමාජ මාධ්‍ය මෙන්ම අනෙකුත් මාධ්‍ය ගණනාවක මුල් බැසගෙන සිටින බොහෝ දෙනෙක්ගේ මාතෘකාව පහුගිය දිනක පැවති උපන්දින සාදයක් සහ එයට ආ කාන්තාවන්ගේ ඇඳුම් ගැනය. ඒ තරමට අපේ රටේ කතා කරන්නට මුලික ප්‍රශ්න හිඟය.

අපේ රටේ කේතුමතී පුරවරයක් බැවින් මිනිසාගේ මූලික ආර්ථික ප්‍රශ්න කීපය අතරට වැටෙන ආහාර, සෞඛ්‍ය, නිවාස සහ අධ්‍යාපන ප්‍රශ්න අදාලම නැත. ඒ නිසා වැඩි වැඩියෙන් කතාකරන්නේ කාන්තාවකගේ රෙද්දක් නිසා සංස්කෘතියකට වෙන හානිය, සදාචාරයට වෙන හානි ගැනය.

අදාලා උත්සවයට විශාල මුදලක් වියදම් කර තිබූ නිසාත්, එය ලංකාවේ සාමාන්‍ය උපන් දින සාදයක ස්වරූපයෙන් නොපැවැත්වුනු නිසාත් එහි ආරාධිතයන් ගෙන් ඉල්ලා තිබුණේ රාජකීය ස්වරූපයෙන් පැමිණෙන ලෙසය. ලංකාවේ බොහෝ දෙනෙක්ට රාජකීය කියූ පමණින් සිහිවන්නේ ඔසරිය, ඇටමාල, බෝරිච්චි හැට්ට ඇඳගත් වෙන්කටරං රාජම්මාල් වැනි බිසෝවුන්වහන්සේලා ගේ ඇඳුම් ආයිත්තම් මිසක වෙනත් යමක් නොවන නමුත් මේ උත්සවයේ ආරාධිතයන්ට සිහිවන්නට ඇත්තේ යුරෝපයේ රාජකීය සාදවල (රාජකීය විවාහ උත්සහ සහ සාද අතර විශාල පරතරයක් ඇත) ඇඳුම් ආයිත්තම් වන්නට ඇත.

ඒ නිසා ඔවුන් තමන්ට රිසි ඇඳුම් ඇඳගෙන එන්නට ඇත. ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති උත්සවයේ ශරීරාංග වැඩිපුර පෙනේනට එහි ආරාධිත කාන්තාවන් ඇඳුම් ආයිත්තම් වලින් සැරසි සිටියේ ඔවුන්ගේ කැමැත්තටය. එය අවසානයේ ඔවුන් ගෙවල් දොරවල් වලට ගොස් අදාල ඇඳුම් උනා තබන්නට ඇත, එහෙත් ලංකාවේ බොහෝ දෙනෙක් තවමත් ඒ ඇඳුම් ඇදගෙන සිටීම නම් ගැටළුවකි.

වතුර වැඩි ගංගාවකින් තරුණියක් කරතබා එතෙර කල තරුණ භික්ෂුවක් තමන්ගේ ලොකු හාමුදුරුවන් සහ ගමනේ ඉතිරි කොටස යද්දී තරහෙන් පිපිරෙමින් පන්සල ගොස් මොකක්ද භික්ෂුව අර කරපු වැඩේ කියා ඇසූ විට මම තරුණිය ගඟෙන් එතෙර කර ගං ඉවුරේ තබා ආවා..ලොකු උන්නාන්සේ තවමත් ඒ තරුණිය කරේ තියාගෙන ඇයි දැයි තරුණ භික්ෂුව ඇසූ පැනයට උත්තර අදටත් සොයාගන්නට නොහැකිවී ඇති බව පෙනේනට තිබේ. ඒක ලංකාවේ මිනිස්සුන් යම්කිසි පිරිසකට ඇති ප්‍රශ්නයකි.

අනිත් එක කාන්තාවන් පිරිසක් පුද්ගලික සාදයකදී තමන්ට කැමති ලෙස අඩ නිරුවත් නොව නිරුවතින් පැමිණියත් එය කාටවත් ගැටළුවක් විය නොහැකිය. අනිත් අතට එය ස්ත්‍රීන්ට පමණක් පොදු අයිතිවාසිකමක්ද නොව. ඒ ගැනත් අපූරු කතාවක් ඇත.

පොලීසියට කාන්තාවකගෙන් දුරකතන ඇමතුමක් එන්නේ තමන්ගේ අල්ලපු ගෙදර සිටින පුරුෂයා නිරුවතින් සිටින බවත්,  එයින් තමන් අපහසුතාවයට පත්වන බවත්ය. යම් වේලාවකට පසුව අදාල කාන්තාවගේ ගෙදරට එන පොලීසිය අල්ලපු ගෙදර පුරුෂයා නිරුවතින් සිටින අයුරු තමන්ට පෙන්වන ලෙස කියා සිටියි. නමුත් පොලීසියට දක්නට ලැබෙන්නේ නිවෙස් දෙක අතර කිසිඳු ඉඩක් නැති බවත් අඩුම තරමේ අල්ලපු ගෙදර මිදුලවත් කාන්තාවගේ ගෙදරට නොපෙනෙන බවයි. එවිට කාන්තාව කියා සිටින්නේ

ඔහොම බැලුවට පේන්නේ නෑ ඔෆිසර්..මෙන්න මේ පුටුව උඩට නැගලා තාප්පෙ උඩින් බලන්න... කියාය. ඒ නිසා අනුන්ගේ පුද්ගලිකත්වය තමන්ට බාධාවක් කරගන්නට දෙයක් නැත. ඒ කතාවේ කාන්තාවගේ කාර්යභාරය මේ දිනවල ලංකාවේ බොහෝ දෙනෙක් කරමින් සිටිති.

හන්ඳියක් හන්ඳියක් ගානේ පිරිමි යන්තම් යට කය පමණක් වැසෙන කොටස කලිසම් සහ මස්පිඩු ලොකුවට පෙනෙන්නට හීනි බැනියමක් ඇන්ඳා කියා ලංකාවේ කාන්තාවන් කොහේවත් විවේචන කරන්නට යන්නේ නැත. ඒ වගේම කුඹුරේ අමුඩය පිටින් සිටින ගොවියාගේ ප්‍රසිද්ධ අඩනිරුවත සමාජ ප්‍රශ්නයක් වීද නැත. නමුත් කාන්තාවගේ අඩ නිරුවත සමාජ ප්‍රශ්නයකි, ඒ මන්ද ඒ අඩනිරුවත දැක පිරිමින්ට තමන්ගේ මනස,කස පමණක් නොව හැසිරීමද පාලනය කරගත නොහැකි නිසාය. ඒ හැර වෙන ප්‍රශ්නයක් නැත.

තවත් පිරිසක් ඉහත සාදයේ ඇඳුම් විවේචනය කරන්නේ ලංකාවේ උතුම් සංස්කෘතියට මෙය මරු පහරක් බව කියාය, ඒ නිසා අදාල සංස්කෘතිය කාබාසිනියා කරන කාන්තාවන් පඳුරු වේසියන් ලෙස හැඳින්වීමට ඔවුන් පසුබට වී නැත.

ඒත් ලංකාව වැනි දිගු ඉතිහාසයක් සහිත සශ්‍රීක සහ පුළුල් ගුණාංග සහිත සමාජ ක්‍රමයක් මෙන්ම සමාජ හර පද්ධතින් පැවති රටක සංස්කෘතිය කාන්තාවකගේ අඩ නිරුවතක් නිසා වැනසෙන දෙයක් නම් එය කොතරම් දුර්වල සංස්කෘතියක්ද, නමුත් ලංකාව වැනි රටක සංස්කෘතිය ස්ත්‍රියකගේ කලවා දෙකට, පපු පෙදෙසට, තට්ටමට සුනුකර දැමිය හැකි යමක් නම් අපි ඊට වඩා ප්‍රබල සහ සංවිධිත සංස්කෘතියක් සොයාගත යුතුය, ගොඩනගා ගත යුතුය. එසේ කීවද සංස්කෘතිය යනු මිනිසා විසින්ම මිනිසාගේ වටපිටාවේ නිර්මාණය කරගෙන ඇති යමක් නිසා ඒවා බිඳෙන්නේ මිනිසුන්ගේ පුහු පසුගාමී සිතිවිලි වලින් මිස වෙනත් මළ විකාර වලින් නොවන බව තේරුම්ගත යුතුය.

ඇත්තම කතාවනම් ලංකාවේ කාන්තාවක් කොටට, දුහුල්ව අඳින පළදින්නට ඔවුන්ට පූර්ණ අයිතියක් ඇත, නමුත් ඇති එකම ගැටළුව ඔවුන්ගේ ඒ නිදහසට අවශ්‍ය සමාජ ආරක්ෂණයක් ලංකාව තුල නැති වීමය. කකුලක්, තට්ටමක්, පපුවක් දකින විට ඒ ඇඳුම් අතරින් පවා විනිවිද යන පාලනයකින් තොර පිරිමි හිත් නිසා ලංකාව තුල කාන්තාවන්ට නිදහසේ සිටීමට ආරක්ෂාවක් නැත. ඒ නිසා ඔවුන් ඇඟපත වසාගෙන යන තරමට ඇඟට ගුණය. එය අපූරුවෙන් මුරගා කියන්නට තරම් දෙයක් නොව, විලිලැජ්ජාවට හේතුවක් පමණි. වෙනස්විය යුත්තේ අන්න ඒ අකල්ප මිස කාන්තාවගේ රෙද්ද නොවන බව අනාගතයේදී හෝ තේරුම් ගැනීමට වරම් ලැබේවා යන්න අපේ ප්‍රාර්ථනයයි.

Post a Comment

0 Comments