Header Ads Widget

Responsive Advertisement

දැක්කත් කටට කෙළ උනන රසම රස බිලිං වෑංජනයක් හදාගමු

 

බිලිං කියන්නේ ලංකාවේ බොහෝ පළාත්වල බොහොම සරුවට වැඩෙන ශාකයක්. අවුරුද්දේ කීප වතාවක්ම බිලිං ගසේ කඳ පුරාවටම විශාලා වශයෙන් හැදෙන බිලිං බොහෝවිට ඉදිලා වැටිලා යනවා. ඒත් අතීතයේ නම් බිලිං ගහක් තිබුණු ගෙදරක බිලිං අපරාදේ වෙන්නේ නෑ. බිලිංවලින් එක එක විදිහේ කෑම වර්ග හදාගන්න අපේ මිනිස්සු පුරුදුවෙලා හිටියා.

ඒ අතරින් බොහොම රසවත් වගේම ගුණදායී කෑමක් තමයි බිලිං වෑංජනය කියන්නේ. කිසිම කෘත්‍රීම රසකාරක භාවිතයකින් තොරව රසට හදන්න පුළුවන් නිසාම ශරීරයට පෝෂ්‍යදායී ආහාරයක් වනවා වගේම අනිත් පැත්තෙන් බත් එක්ක, පාන් එක්ක, රොටී එක්ක කන්න හදාගන්න පුළුවන් අපූරු ආහාරයක් විදිහට බිලිං වෑංජනය සලකන්න පුළුවන්.

ඉතින් මේ බිලිං වෑංජනය හදාගන්න අපිට අවශ්‍ය දේවල් මොනවද කියලා අපි මුලින්ම බලමු.

  • අමු බිලිං ග්‍රෑම් 500
  • බැදපු තුනපහ මේස හැඳි දෙකක්
  • සීනි මේස හැඳි දෙකක්
  • ලුණු මේස හැන්ඳක්
  • පිරිසිදු පොල්තෙල් මිලිලීටර් 50ක්
  • කුරුඳු කැබැල්ලක්
  • කරදමුංගු ස්වල්පයක්
  • අමු මිරිස් ග්‍රෑම් 50ක්
  • අඹරාගත් ගොරක ස්වල්පයක්
  • කපාගත් ලොකු ළූණු ග්‍රෑම් 300ක්
  • කරපිංච සහ රම්පෙ
  • කහ ස්වල්පයක්
  • මිටි කිරි මිලිලීටර් 100ක්
  • දිය කිරි මිලිලීටර් 200ක්

හොඳින් සෝදාගත්ත අමු බිලින් ගෙඩි සිරස් අතට හතරට කපාගන්න. එහෙම කපාගෙන ඉවරවෙලා ටිකක් විශාල භාජනයකට ඒ ටික දාලා එයට ලුණු මේස හැන්ඳ, බැදපු තුනපහ මේස හැඳි දෙක සහ කහ ස්වල්පය එකතු කරලා හොඳින් මිශ්‍රකරගන්න. තුනපහ,කහ සහ ලුණු හොඳින් බිලිං වලට උරාගන්නා තෙක් භාජනය වහලා තියන්න.

ඊට පස්සේ භාජනයකට (පියන සහිත මැටි හට්ටියක් නම් වඩාත් හොඳයි) පොල් තෙල් ටික දාගෙන තෙල් හොඳින් රත්වෙද්දි රම්පෙ, කරපිංච, කරදමුංගු දමා බැදගන්න. පස්සේ ඒකට කපාගත් ළූණු එකතු කරගෙන ළූණු හොඳින් බැදෙන අතරේ කුරුඳු සහ ගොරක එකතුකරගන්න. මේ සියල්ල හොඳින් බැදගත්තට පස්සේ කලින් සකස්කරගෙන තියන බිලිං  ටික මේ භාජනයට දමා එයට කපාගත් අමු මිරිස් එකතුකර හොඳින් මිශ්‍රකරගෙන භාාජනය පියනකින් වහලා තෙලෙන් තැම්බෙන්නට ඉඩහරින්න.

මේ විදිහට විනාඩි තුනකට විතර පස්සේ පියන ඇරලා හොඳින් නැවත මිශ්‍ර කරගන්න. මේ විදිහට කිහිප වරක්ම මිශ්‍ර කරගෙන බිලිං කැබලි මෙලෙක් ස්වභාවයෙන් තැම්බී අවසන්වෙද්දි එයට උකු මිටිකිරි එකතුකරන්න. මිටිකිරෙන් තැම්බෙද්දි හොඳට බිලිං මිශ්‍ර කරන්න. විනාඩි කිහිපයකට පස්සේ මිටි කිරි හිඳිලා බිලින් හොඳින් තැම්බිලා තියෙද්දි එයට දියකිරි එකතු කරලා ගින්දර ටිකක් වැඩිකරන්න.

හොද්ද වගේ හොඳින් නටාගෙන එද්දි මෙයට සීනි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න. ඒ වගේම ලුණු මදිනම් ලුණු එකතුකරගන්න. අවශ්‍යනම් බිලිං වෑංජනය හොදිවගේ ටිකක් උකුවට තියාගන්න කමැතිනම් හොද්දි හොඳින් උතුරාගෙන එද්දි ලිපෙන් බාගන්න. නැත්නම් තව ටිකක් හිඳෙන්න තියලා විනාඩි 3කට විතර පස්සේ ලිපෙන් බාගන්න. මේ වෙද්දි මුළු ගෙදරම සුවඳදෙන ඒ වගේම දැක්කම කටට කෙළ උනන බිලිං වෑංජනයක් රස විඳින්න ඔබට අවස්ථාව ලැබිලා තියේවි.

Post a Comment

0 Comments