Header Ads Widget

Responsive Advertisement

ගීයෙන් සිනමාවට ආ මලයාලම් අමුතු රුවැත්තිය - මැඩෝනා සෙබස්තියන්

 

කේරල් සිනමාව හෙවත් මලයාලම් සිනමාව එහි ඇති අපූර්වත්වයත්, අනන්‍ය සෞන්දර්යයත් නිසා මේ වෙද්දි ඉන්දියාවෙන් බැහැර වෙනත් රටවල්වල රසිකයන් පවා වේගයෙන් ආකර්ශණය කරගත හැකි සිනමාවක් බවට පත්ව තිබෙනවා. ඒ මගින් බිහිව ඇති නළු නිළියන් සහ අධ්‍යක්ෂකවරුන්ට ඒ නිසාම ඉතා ඉහළ ජනප්‍රසාදයක් ලැබෙමින් පවතිනවා.

ඒ අතරින් මැඩෝනා සෙබස්තියන් කියන්නේ ඉතාම අහම්බෙන් සිනමාවට සම්බන්ධවුණු චරිතයක්. ගීත ගායනයට ඉතාමත් දස්කම් දක්වන මැඩෝනාට සමහරවිට ඇගේ දෙමව්පියන් ඒ නම තියන්නට ඇත්තේත් ඇගේ පවුල වටා පැවති සංගීතමය වටපිටාව නිසාම වෙන්න පුළුවන්. 1993 දී කේරලයේ කන්නූර් හීදී ඉපදුණු මැඩෝනා සෙබස්තියන් 2014 අවුරුද්දේ ගායන තරඟයකදි දක්වපු දක්ෂතාවය නිසා “ප්‍රේමම්” චිත්‍රපටයේ අධ්‍යක්ෂක අල්ෆොන්සේ පුත්රන් මැඩෝනාට සිනමාවට පිවිසෙන දොර විවර කරලා දෙනවා.

ඒ වෙද්දිත් මැඩෝනා වාණිජවේදී උපාධිධාරණියක් විදිහට බැංගලෝරයේ ක්‍රිස්ට් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපාන කටයුතු හදාරමින් හිටියා. ප්‍රේමම් චිත්‍රපටය නිසා ලැබුණු ජනප්‍රියත්වය එක්කම මැඩෝනාට කේරල් සිනමා පට ගණනාවකට අවස්ථාව ලැබුණා. නමුත් ඇගේ ජීවිතේ වැදගත්ම සන්ධිස්ථානයක් සටහන් කලේ තමිල්නාඩු දමිළ සිනමාවේ පතාක යෝධයෙක් වෙන විජය සේතුපති එක්ක රඟපෑ ‘කාදලුම් කදන්ඩු පෝගම්’ කියන සොඳුරු සිනමා පටයේ රංගනය එක්කයි.

පසුව මැඩෝනාට තෙළිඟු චිත්‍රපට සඳහාත් ආරාධනා ලැබෙනවා. ඒ නිසාම ඇයගේ ජනප්‍රියතාවය මේ වෙද්දි ඉතාම හොඳ තැනක තියනවා වගේම ඒ නිසාම ඇය කාර්යබහුල නිළියක් බවට පත්වෙලා ඉවරයි.

“සිනමාවට මම සෑහෙන්න ආසයි. අද මම මේ ඉන්න තැන මට හීනයක්..ඒත් සංගීතය සහ ගායනය මට මගහැරෙන එකනම් කණගාටුවක්..මොකද මම ඒ පැත්තට හරිම ආසයි..ඒත් මේ ජනප්‍රියත්වය එක්ක මට කවදහරි ගායන ක්ෂේත්‍රයෙත් මොනවහරි කෑපිපෙනෙන දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා.”

මැඩෝනා එහෙම කියන්නේ ඇයට සංගිතය වෙනුවෙන් කැපකරන්නට තිබෙන කාලය අඩුවීමත් එක්කයි.

“මම මගේ ගමන හිමින් යන කෙනෙක්..මම දන්නවා සිනමාව තුළ නිළියකගේ ගමන කෙටියි.”

මැඩෝනා සෙබස්තියන් මලයාලම් සිනමාව තුල වගේම අනෙකුත් සිනමා තුලත් ප්‍රසිද්ධ බොහොම තාත්විකව චරිත කරන්න පුළුවන් වෙනස් විදිහේ සුන්දරත්වයක් ඇති නිළියක් කියලා. ඇය අනිකුත් නිළියන් තරමේ සම පැහැපත් නැතිවුණත් ඇයගේ තිබෙන වෙනස් සුන්දරත්වය නිසා බොහෝමයක් ප්‍රේක්ෂකයින් ඇයට ආදරය කරන්න පටන්ගත්තා.

2020 වර්ෂයේත් ඇය චිත්‍රපට හතරකට සම්බන්ධ වූ අතර එයින් දෙකක් දමිළ චිත්‍රපට වන අතර අනික් දෙක තෙළිඟු සහ කන්නඩ සිනමාපටයක්. 2016 අවුරුද්දේ ඇය පුලාරකලාම් පෝලේ චිත්‍රපටය වෙනුවෙන් ගායනා කල පසුබිම් ගීතයක් ඉතා ප්‍රසිද්ධ වුණා.

රූපවාහිනී වැඩසටහන් කීපයකම ඉදිරිපත් කරන්නියක් වශයෙන්ද කටයුතු කරන මැඩෝනා කවදාහරි කේරල සිනමාවේ මැකී නොයන තාරකාවක් වන බවනම් සහතිකයි.

Post a Comment

0 Comments