Header Ads Widget

Responsive Advertisement

සෞදි අන්තවාදයට එරෙහිවූ සමාජ ක්‍රියාකාරිනියට 5 වසරක සිර දඬුවම්

 


ලූජේන් අල්-හත්ලුල් නම් වන සෞදි අරාබියේ සුප්‍රකට සමාජ ක්‍රියාකාරිනියට වසර පහක් සහ මාස  අටක සිරදඬුවමක් නියම කිරීමට සෞදියේ අධිකරණය ඊයේ තීරණය කලා. ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් ඇයව නිදහස් කරන ලෙස සෞදි රජයට බලකර සිටියදීත් ඒවා නොතකමින් මෙසේ සිර දඬුවම් නියම කිරීමට කටයුතු කර තිබේ.

සෞදි රාජයට සම්බන්ධ මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඇයට සිර දඬුවම් නියම කිරීමට අධීකරණය තීරණය කර ඇත්තේ ජනමතය වෙනස් කිරීම සඳහා අරගල කිරීම, විදෙස් න්‍යාය පත්‍ර අනුව ක්‍රියාකිරීම සහ අන්තර්ජාලය භාවිතයෙන් රජයේ නියෝග උල්ලංඝනය කිරීම යටතේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය මෙම දඬුවම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇත්තේ 

“මෙය බරපතල ප්‍රශ්නයකට හේතුවන තීරණයක්” ලෙසින් ය. එසේම කාන්තා අයිතීන් වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ සමාජ ක්‍රියාකාරිනියක් අත්තනෝමතිකව වසර දෙකහමාරක් තිස්සේ රඳවා තබාගැනීම මෙන්ම මෙලෙස අභූත චෝදනා යටතේ සිර දඬුවම් නියම කිරීම බරපතල තත්ත්වයක් ලෙස හඳුන්වා ඇත.

ඇයගේ සොයුරිය වන ලීනා අල්-අත්ලුල් ප්‍රකාශ කරන්නේ තමන්ගේ සොයුරිය සිරගත කර ඇත්තේ ප්‍රති-ත්‍රස්ත පනත යටතේ බවත් ය. තමන්ගේ සොයුරිය ත්‍රස්තවාදියෙක් නොවන බවත්, ඇය සමාජ ක්‍රියාකාරිනියක් ලෙස උත්සහ කලේ තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට පමණක් බවත් පවසා තිබේ.

යුරෝපානු සංගමය වෙනුවෙන් අදහස් දක්වා ඇති ජේක් සුලිවාන් පවසා ඇත්තේ සෞදි රජය රට තුල නිදහස් මත දැරීමේ අයිතිය කප්පාදු කිරීම මෙවන් වූ ක්‍රියාවන් මගින් තව දුරටත් ඔප්පු කර ඇති බවය. එසේම බී.බී.සී ලෝක සේවය සිය පුවත් මගින් මෙම සිදුවීම ප්‍රකාශ කරන අතරතුර වාර්තා කර ඇත්තේ වසර දෙකහමාරක කාලයක් රඳවා තබාගන්නා අතරතුර ලූජේන් හට පහරදීම් සහ ලිංගික හිංසනයන් ද සිදුකර ඇති බව ය.

අදාල හිංසනයන් සම්බන්ධයෙන් වීඩියෝවක් ඇය සතුව ඇති අතර 2019 වසරේ සෞදි බලධාරීන් අදාල වීඩියෝ තමන් වෙත ලබාදීම සිදුකලහොත් ඇය නිදහස් කරන බවට ප්‍රකාශ කර සිටියද ඇය එය ලබාදීම ප්‍රතික්ෂේප කල බව ඇයගේ පවුලේ සාමාජිකයන් පවසති. ඉතා කෲර ලෙස ඇයව රඳවා සිටියදී පැය දෙකකට වඩා කාලයක් නිදාගැනීමට හෝ ලබාදී නොමැති අතර ඒ මගින් ඇගේ මානසික ස්ථාවරත්වය බිඳදැමීමට උත්සහ කර ඇති බව සැලවේ.

Post a Comment

0 Comments