Header Ads Widget

Responsive Advertisement

පුංචි එංගලන්තයේ සවාරියක් යමු - 01


1815 උඩරට ගිවිසුමෙන් ලංකාව ලිඛිතවම සුද්දාට පවරාදීමෙන් පසුව ලංකාවේ පදිංචි වුණු ඉංග්‍රීසීන් ලංකාව තුල එංගලන්තය මැවීමේ උත්සහයක නිරතවිය.ඉංග්‍රීසි ජාතිකයින්ගේ විනෝදාශ අතරින් වඩාත් සිත්ගත්ම විනෝදංශය වූයේ වන සතුන් දඩයම් කිරීමය. ඒ අතරිනුත් වන අලින් දඩයම් කිරීම ඔවුන් වඩාත් ප්‍රිය කලේය. වරක් දොස්තර ජොන් ඩේව් කඳු තරණය කරමින්  දිගින් දිගමට දඩයමේ ඇවිදිද්දී ඔහු ඉතා සෞම්‍ය වූ අලංකාර වූ ප්‍රදේශයකට සේන්දු විය. දාඩිය වගුරවමින් අදික රස්නයෙන් පෙලුණු ඔවුන්ට  තම රටට ගියාක් මෙන් ඇතැම් විට දැනෙන්ටද ඇත. මෙතෙක් තමන් සෙවූ ලංකාව තුල තවත් එංගලන්තයක හීනය හැබෑවන බවක් ඩෙව් අවබෝධකරගන්නට ඇත.

එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරධූරය හෙබවූයේ ශී‍්‍රමත් රොබට් බ‍්‍රවුන්රීග් ආණ්ඩුකාරවරයාය. මෙම ප්‍රීතිමත් ආරංචිය දොස්තර ඩේව්  බ‍්‍රවුන්රීග් ආණ්ඩුකාරවරයාට සැල කළේය. කෙසේවෙතත් වර්ෂ 1819 ඩේව් විසින් කළ නව සොයා ගැනීමට අර්ථයක් ලැබුණේ ඊට වසර ගණනාවකට පසුවය. වසර 1828 ශී‍්‍රමත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් මෙම ශීත ප්‍රදේශය සෞඛ්‍යාසම්පන්න ප්‍රදේශයක් ලෙස නම් කළ අතර සෞඛ්‍ය මධ්‍යස්ථායක්ද පිහිටුවන ලදී. ඒ අන්කවර ප්‍රදේශයක් නොව අදටත් “පුංචි එංගලන්තය” ලෙස හඳුන්වන නුවරඑළියයි.

19 වැනි සියවස ආරම්භ වීමත් සමඟම නුවරඑළිය ඉංග්‍රීසි ජාතිකයින්ගේ ගමක් බවට පත් විය. මෙම සීත කාලගුණයට ප්‍රියකළ ඔවුන් මෙම නගරයේ නඩත්තු කටයුතු සඳහා නිරන්තරයෙන් වෙහෙසුනහ.  කෙසේවෙතත් නුවරඑළිය නගරය සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ දී සැමුවෙල් බේකර් විසින් යැයිද පැවසේ.

රාවණ විසින් සීතා පැහැරගෙන විත් සඟවා තබා ගත්තේ යැයි පැවසෙන්නේද මෙම නුවරඑලියේය. අශෝක වනය පැවතියේ නුවරඑළිය ප්‍රදේශයේ යැයි විශ්වාස කරන්නට හේතුව වන්නේ රාමායණයේ විස්තර කෙරෙන අශෝක වනයේ දේශගුණික ලක්ෂණ සහ තුරුලතා සම්බන්ධ විස්තරයට ටක්කෙටම ගැලපෙන්නේ නුවරඑළියේ උද්‍යානයක ලක්ෂණවලට වීම නිසාය. සීතා සොයා පැමිනි හනුමාන් කෝප වී මෙම ප්‍රදේශයට ගිනි තැබූ බවද ගින්දරෙන් ආලෝක වුණු නුවර පසුකාලීනව නුවරඑලිය ලෙස සැලකුණු බවත් ජනප්‍රවාදයේ සඳහන්ය.

කෙසේවෙතත්  මුහුදු මට්ටමේ සිට අඩි 6128ක උසකින් යුතු නුවරඑළි‍ය නගරය මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 කි. අධික සීත කාලය දුරුතු මස සිට මාස තුනක පමණ කාලයක් පමණ පවතින අතර  රාත්‍රී කාලයට මෙහි අධික ශීත කාළගුණයක් ඇති අතර හිමිදිරියේ දී මල් තුහින ද ඇතැම් දිනක දැකිය හැකි වෙයි. මෙවැනි දිනවල අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ට වඩා අඩු වෙයි. නුවරඑළිය යනු මෙලෙස වචන ගණනාවකින් කතාකර අවසන් කල හැකි මාතෘකාවක් නොවන නිසා නුවරඑළිය ගැන බොහෝ දේ කතාකරන්නට ඉඩක් තබා මෙම ලිපිය නතර කල යුතුය. හොඳ හොඳ පහු පහු වෙන්නටය, නුවරඑළියේ ලස්සනට වඩා ලස්සන සහ සීතලට වඩා සීතල දේ ගැන ඉදිරියේ ලිපි ගණනාවකින් ඔබට කියන්නට අපි සූදානම්ය.


 

Post a Comment

0 Comments